වසර 267ක් අඛණ්ඩව සිදුකළ උපසම්පදා පිංකම අත්හිටුවයි.

 වසර 267ක් අඛණ්ඩව සිදුකළ උපසම්පදා පිංකම අත්හිටුවයි.

රටේ ආරක්ෂාව සියල්ලට වඩා ප්‍රමුඛයි. මහ නාහිමිවරු පවසති.

සියම් මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්හි වාර්ෂිකව සිදුකෙරෙන්නාවූ උපසම්පදා විනය කර්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කර තිබේ.
කොවිඩ්-19 වෛරසය රටපුරා ව්‍යාප්ත වීම වළක්වා ගැනීම පිණිස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අවස්ථාවක උපසම්පදා විනයකර්ම සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කිරීමෙන් පසු මෙම කල් දැමීම සිදුකර තිබේ.
සෑම වර්ෂයකම වෙසක් පුන් පොහෝ දින සිට පොසොන් පුන් පොහෝ දිනය දක්වා මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් කේන්ද්‍ර කරගනිමින් උපසම්පදා විනයකර්ම සිදුකරන බවත් මෙම වසරේ මැයි මස 07 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයෙන් මෙම පුණ්‍ය උත්සවය ආරම්භ වීමට නියමිතව තිබූ බවත් මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියෝ පැවසූහ.
සම්බුද්ධ ශාසනය ආරක්ෂා වන්නේ මහ සංඝරත්නය හා සැදැහැවතුන් ආරක්ෂා වීමෙන් බවත් මෙම අවස්ථාවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව සියලු දෙනා නිවෙස් වලට වී සිටීම වැදගත් බවත් කී සුමංගල නාහිමියෝ සියලු කරදර වලින් රට මිදුණු පසු උපසම්පදා විනය කර්ම කටයුතු සිදුකරන බවද අවධාරණය කළේය.
මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් මූලිකත්වයෙන් සිදු කෙරෙන්නාවූ වෙසක් උත්සවද මෙවර නොපැවැත්වීමට තීරණය කළේ යැයි උන්වහන්සේ කීහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *