වසංගත තත්ත්වයක් ගැන WHO අනතුරු අඟවයි ඉතාලිය සීරුවෙන්. CORONA UPDATES

 වසංගත තත්ත්වයක් ගැන WHO අනතුරු අඟවයි  ඉතාලිය සීරුවෙන්.  CORONA UPDATES

ඉතාලි අගමැතිවරයා රටම නිරෝධායන තත්ත්වයක පසුවිය යුතු බව නිවේදනය කරද්දී ලෝක සෞඛ්‍ය සංවිධානයද කොරෝනා වසංගත තත්ත්වයක් පිළිබඳ අවධානම ප්‍රකාශ කළා. 9000කට අධික පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා සහ 463දෙනෙකු මරණයට පත්වීම නිසා රජය ගත් තීරණයට අනුව, මේ වනවිට සමස්ත ඉතාලි දේශයේ මිලියන 60කට ආසන්න ජනයා නිරෝධායනයට ලක්කර තිබෙනවා.

ඉතාලි අගමැති ග්‍යුසෙප්පෙ කොන්ටේ සඳුදා අපරභාගයේදී නිවේදනය කළේ උතුරු ඉතාලියේ සිට රට හරහා ගමන් කිරීමට එරෙහිව පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කරන බවයි.

රැකියාව, සෞඛ්‍ය හෝ වෙනත් මඟහැරිය නොහැකි සීමිත අවශ්‍යතාවයන් ඇති බව ඔප්පු කළ හැකි අයට පමණක් තමන් ජීවත්වන ප්‍රදේශවලින් බැහැරවීමට පුලුවන්. දැනටමත් උතුරු ඉතාලියේ පනවා ඇති සීමාකිරීම් පෙන්වා දෙමින් අගමැතිවරයා මාධ්‍යවේදීන් හා පැවසුවේ  “එය රතු කලාපයක් විය යුතු නැති බව”යි. එය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස “ඉතාලිය විය යුතුයි” ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඉතාලි අගමැති කොන්ටේ මේ නිවේදනය සිදුකළේ ඉතාලියේ සිදුවූ කොරෝනා මරණ ගණනට තවත් මරණ 97ක් එකතුවීමෙන් පසුව සහ ගෝලීය කොරෝනා වංසගතයක් ඇතිවීම සැබෑ විය හැකියැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කිරීමෙන් අනතුරුව.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව මේ වනවිට තහවුරුව ඇති කෙරෝනා ආසාදිතයින් ගණන 110000කට අධික වන අතර 3800කට වැඩි සංඛ්‍යාවක් මරණයට පත්ව තිබෙනවා.

ලොව සිව්දෙස තොරතුරු

ජනයාට රැකියාවලට ඒම සඳහා හූබෙයි ප්‍රාන්තය නව සෞඛ්‍ය කේතයක් හඳුන්වා දෙයි.

ජන ජීවිතය සාමාන්‍යකරණය වීම සඳහා ප්‍රාන්තය තුළ ගමන්කිරීමේදී විමසිලිමත්වීම සඳහා ජංගම දුරකථන මත පදනම් වූ සෞඛ්‍ය කේත වැඩසටහනක් හඳුන්වාදීමට පියවර ගන්නා බව චීනයේ හුබෙයි ප්‍රාන්ත බලධාරීන් නිවේදනය කළා. රජයේ වෙබ් අඩවියක් සඳහන් කළේ නිෂ්පාදන සහ සේවා යථා තත්ත්වයට පත්කරමින් ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

ආපදාවට ගොදුරුවීමෙන් පසු අඟහරුවාදා පළමු වතාවට හූබෙයි අගනුවර වන වූහාන් වෙත පැමිණි චීන ජනාධිපති ක්ෂී ජින්පින්  කෙරෝනා සටනට දායක වූ සෞඛ්‍ය බලධාරීන් සහ සේවකයින් මුණ ගැසුණා.

කොරෝනා රෝග නිශ්චයට සහ ප්‍රතිකර්මවලට විදේශිකයින්ගෙන් මුදල් අයකරන සිංගප්පූරුව

සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ එරට රජයේ රෝහල්වල සම්පත් වෙන්කිරීමේ ප්‍රමුඛතාවය සළකා  කොරෝනා ප්‍රතිකර්ම ලබාගැනීමට යොමුවන විදේශ සංචාරකයින්ගෙන් මුදල් අයකිරීමට තීරණය කළ බවයි. මේ තීරණය මාර්තු 07 වැනිදා සිට බලපැවැත්වෙනවා. කෙටිකාලීනව රැඳී සිටින සහ සංචාරය කරන විදේශිකයින්ගෙන් මුදල් අය කළත් දිගුකාලීන සහ සිංගප්පුරුවේ නේවාසිකත්වය ලැබූ පිරිස් වෙත තවදුරටත් රාජ්‍ය පරිශ්‍රවල නොමිලයේ පහසුකම් සැපයෙනවා.

කොරෝනා ප්‍රතිකර්මවලට ගේට්ස් පදනමෙන් සහ තවත් පුණ්‍යායතනවලින් ඩොලර් මිලියන 125ක්

කොරෝනා වෛරසයට එරෙහි පිළියම් සෙවීම සඳහා තවත් ඩොලර් මිලියන 125ක් පරිත්‍යාග කිරීමට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම හා ප්‍රමුඛ පෙළ පුණ්‍යායතන දෙකක් කටයුතු කළා.

මෙම පරිත්‍යාගයේ අරමුණ කොරෝනා මැඩීමට සමත් නව ඖෂධ සොයාගෙන රෝගීන්ට එසැන ප්‍රතිකර්ම කිරීමට දිරිදීමයි. වෛරසයේ ප්‍රහාරයට ගොදුරු වූ දිළිඳු රටවල අවශ්‍යතාව සඳහා ඔසු නිපදවීම සහතික කිරීමට මෙම මුදල් යෙදවීමට නියමිතයි.

“කොරෝනා වැනි ව්‍යසනවලින් ලෝකය රැකගැනීමට අපට වුවමනානම්, විශේෂයෙන්ම වඩාත් අවධානම් සහගත දේවලින්,.. ඉතා වේගවත් පර්යේෂණ සහ සංවර්ධන සඳහා මාවතක් අප සොයාගත යුතුයි” බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ප්‍රධාන විධායක මාක් සුස්මාන් ප්‍රකාශ කළා. “රජය, පුද්ගලික ව්‍යවසාය සහ සුබසාධන සංවිධාන පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ඉක්මනින් මුදල් යෙදවිය යුතුයි” ඔහු පැවසුවා. 

ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ස්වයං නිරෝධායනයට

ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානි මාර්ක් මෙඩෝව්ස් ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙන්නේ ඔහු හා සබඳතා පැවැත්වූ අයෙකු කෙරෝනා ආසාධිත බව තහවුරු වීම නිසා. නමුත් මාර්ක් වෙතින් ව්‍යාධි ලක්ෂණ පහළ ව නොමැති අතර ඔහු පූර්ව පරීක්ෂා කිරීමට ලක්වූ පසු ආසාධිත බව වාර්තා වූයේත් නැහැ. දින 14ක් ඔහු මෙසේ ස්වයං නිරෝධායනයට භාජනයවීමට නියමිතයි.

නිරෝධායනයට යොදාගත් හෝටලය කඩා වැටී සිදුවූ මරණ ගණන ඉහළට

චීනයේ කොරෝනා ආසාධිතයින් නිරෝධායනය සඳහා රඳවා සිටි හෝටලය කඩාවැටී සිදු වූ මරණ ගණන 20 දක්වා ඉහළ යයි. මේ අනතුරට ගොදුරු වූ අය අතුරින් තවමත් 10දෙනෙකු සුන්බුන් අතර සිරව සිටිනවා. මේ ගොඩනැඟිල්ල පිහිටා තිබුණේ ක්වැන්ෂූ නම් වෙරළබඩ නගරයේ, ප්‍රදේශයේ රෝගය පැතිරයන අතරතුර එය නිරෝධායන නිවස්නයක් ලෙස භාවිතා කිරීමට පටන්ගත් බවයි මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ. එය කඩා වැටුණේ සෙනසුරාදා සන්ධ්‍යාවේ.

ජපානය පුනරුත්ථාපන පැකේජයක් හඳුන්වා දෙයි.

කොරෝනා නිසා සිදුවූ බිඳවැටීම් යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව ජපානය පැවසුවා. ජපාන මුදල් ඇමති ටාරෝ අසෝ පැවසුවේ, එය කුඩා ව්‍යාපාරවලට මූල්‍ය සහයදීම ඉලක්ක කරගන්නා බවයි. එසේ නමුත් පාසල් වසා දැමීම නිසා නිවාඩු ගතයුතු වූ දෙමව්පියන්  සඳහා සහ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම පිණිසද එමඟින් ආධාර සැපයීමට නියමිතයි.

මොංගෝලියාව නගරවලට සීල් තබයි

කොරෝනා වෛරස ආසාදනය තහවුරුවීමෙන් පසු මොංගෝලියාව නගර කිහිපයකට සීල් තැබුවා. ඒ එරටින් කොරෝනා වාර්තා වී දින 06කට පසුව. ඌලාන්බාතර් අගනුවර සහ සියලුම ප්‍රාන්ත අගනුවර මාර්තු 16 දක්වා නිරෝධායනය කරන බව එරට උප අගමැතිවරයා පැවසුවා.

ට්‍රම්ප් කොරෝනා පරීක්ෂාවට ලක්වූයේ නැහැ – ධවල මන්දිරය

වෛරසය තිබූ බව තහවුරු වූ සම්මේලනයකට සහභාගීවීමෙන් පසු ස්වයං නිරෝධායනයට ලක්වූ නීති සම්පාදකයින් දෙදෙනෙකු ට්‍රම්ප් හමුවට පැමිණ තිබුණත්, ඉන් පසු ඔහු කොරෝනා පරීක්ෂණයකට සහභාගී නොවූ බව ධවල මන්දිරය නිවේදනය කළා.   “ජනාධිපතිවරයා පරීක්ෂණයකට භාජනය වුණේ නැහැ. මොකද වෛරස ආසාදනයට ගොදුරු වූ බව තහවුරු වූ කිසිවෙකු හා ඔහු සමීප දිගු සම්බන්ධයක් පැවැත්වූයේ නැහැ. ඔහුට ව්‍යාධි ලක්ෂණත් නැහැ. ට්‍රම්ප් කදිම නිරෝගීබවකින් යුක්තයි. ඔහුගේ වෛද්‍යවරයා නිතර ඔහු පරීක්ෂා කරනවා” ධවල මන්දිර ප්‍රකාශිකාව පැවසුවා.

පැනමාවෙන් පළමු ආසාදිතයා වාර්තා වෙයි.

40 හැවිරිදි කාන්තාවක් සිය රටේ පළමු කොරෝනා රෝගියා ලෙස වාර්තා වූ බව පැනමාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා තහවුරු කළා. සෞඛ්‍ය ඇමති රොසාරියෝ ටර්නර් කාන්තාවගේ නම හෙළි නොකරමින් පැවසුවේ ස්පාඤ්ඤයේ සංචාරය කර පැමිණි ඇය උණ හා කැස්ස නිසා ප්‍රතිකාර පිණිස රෝහලට ඇතුළත් කළ පසු කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වූ බවයි. ඇය සුරක්ෂිතව නිවසට යනතුරු ඇගේ ජාතිකත්වය හෝ අනන්‍යතාව හෙළි නොකරන බව ඇමතිවරයා පැවසුවා.

දකුණු කොරියාවෙන් නව ආසාදිතයින් 131ක්.

වසංගත පාලන හා වැළැක්වීමේ කොරියානු මධ්‍යස්ථානය නිවේදනය කළේ නව රෝගීන් 131ක් සමග එරටින් වාර්තා වන මුලු රෝගීන් ගණන 7513ක් බවයි. “කෙමෙන් වාර්තාවන රෝගීන් ගණන අඩුවන බව දින කිහිපයක සිට පෙනෙන්නට ඇති බව” දකුණු කොරියාව පවසනවා. මේ දත්ත පදනම් වෙන්නේ පරීක්ෂණවලට ලක්වූ දහස් ගණනක සංඛ්‍යා මත. එහෙත් ඒවා වාර්තා වෙන්නේ අධි අවදානම් කණ්ඩායම්වලින්.

මොංගෝලියාවේ පළමු ආසාදිතයා ප්‍රංශ පුරවැසියෙක්.

මොංගෝලියාවේ සේවයේ නියුතු ප්‍රංශ පුරවැසියෙකුට කෙරෝනා වැළඳී ඇතියි සඳුදා එරටින් වාර්තා වුණා. ඒ මොංගෝලියාවේ පළමු කොරෝනා රෝගියා ලෙස. එරට ජාතික ආපදා මධ්‍යස්ථානය නිවේදනය කළේ මේ ප්‍රංශ වැසියා තනිවම මොස්කව් හරහා ගුවනින් මොංගෝලියාවට පැමිණ ඇති බවයි. ඔහුව ළඟින් ඇසුරු කළ 142දෙනෙකුද මුණ ගැසුණු 42දෙනෙකුද සොයාගෙන තිබෙනවා.

සියැටල් රැකවරණ නිවසේ 31කට වෛරස වැළඳෙයි.

වෛරස ආසාදනය වාර්තා වූ සියැටල් රැකවරණ නිවසේ තවමත් රෝගීන් 31 දෙනෙකු සිටින බව ඇමරිකානු වාර්තා සඳහන් කළා. කර්ක්ලෑන්ඩ්හී ජීවනාරක්ෂණ මධ්‍යස්ථානයේ පසුගිය සඳුදා සිදුවූ මරණ 03ක් සමග මරණ 19ක් වාර්තාවන බව බලධාරීන් සඳහන් කළා. මෙම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ආසාධිතයින් ප්‍රතිකර්මවලට යොමුකර නිරෝගී අය වෙනම රඳවා තැබීමට පියවර ගන්නා බවයි.

මොරොක්කෝව සියලු ඉතාලි සංචාර තහනම් කරයි.

ඉතාලිය සමග සියලු ආකාරයේ ගමන් බිමන් තහනම් කරනලද බව මොරොක්කෝ අගමැති සාද් එඩිනේ එල් ඔත්මානි අඟහරුවාදා පැවසුවා. කොරෝනා හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.

ඇල්බේනියාව පාසල් වසයි. ඉතාලි ගුවන් සහ නාවික ගමන් අත්හිටුවයි.

අප්‍රේල් 03 දක්වා පාසල් වසා දැමූ ඇල්බේනියාව ඉතාලිය වෙත යන ගුවන් ගමන් සහ නාවුක ගමන් තහනම් කළා. ඒ සඳුදා එරට පළමු කොරෝනා රෝගියා වාර්තාවීම නිසා. මේවනවිට ඉතාලියේ ඇල්බේනියානු ජාතිකයින් 400000ක් වාසය කරනවා.

ප්‍රංශයේ සංස්කෘතික ඇමතිවරයාටත් කොරෝනා ආසාදනය වී ඇති බව මේ දැන් තහවුරු ව ඇතැයි එරටින් වාර්තා වෙනවා.

ප්‍රංශ සංස්කෘතික ඇමති ෆ්‍රෑන්ක් රයිස්ටර්

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *