වවුනියාව මඩුකන්ද ජාතික පාසල වැසෙනතුරු බලධාරීන් මර නින්දේ..

වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ ගුරු හිඟයට වහා පිළියම් යොදන මෙන් එහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියෝ ඉල්ලා සිටිති. ඊයේ (24) ඒ 9 මාර්ගය අවහිර වන සේ දැවැන්ත විරෝධතා උද්ඝෝසනයක නිරත වූ දෙමව්පියන් පැවසුවේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම සිංහල පාසලක් වන මඩුකන්ද ජාතික පාසල කෙරෙහි ප්‍රදේශයේ බලධාරීන් කිසිම සැළකිල්ලක් නොදක්වන බවයි.
මේ වනවිට උසස් පෙළ ගණිත සහ විද්‍යා අංශවල ගුරු හිඟය ඉතා උග්‍ර තත්ත්වයකට පත්වීම නිසා ඒවා වසා දැමීමට සිදුවන මට්ටමක් උද්ගතව තිබේ. මෙම විද්‍යාලයෙන් වාර්ෂිකව විද්‍යා හා ගණිත විෂයන්ගෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන සිසුන් ගණන දහයකට වැඩි වන අතර එය වවුනියාව දිස්ත්‍රික්කයේ ඉහළම අගයයි. එසේ තිබියදී එම ප්‍රථිපල ලබා දුන් ගුරුවරයා සාමාන්‍ය පෙළ විද්‍යාව ඉගැන්වීම සඳහා පළාත්බද විදුහලකට මාරු කර යවා තිබේ. එමෙන්ම උසස්පෙළ නාට්‍ය හා රංග කලාව ගුරුවරයාද එම විෂය උගන්වනු නොලබන විද්‍යාලයකට මාරු කර යවා ඇත.

මඩුකන්ද ජාතික පාසලේ විදුහල්පතිවරයා පවසන්නේ ගුරුවරුන් තිස්පහක පමණ හිඟයක් පවතින නමුත් සාමාන්‍ය පෙළ දක්වා ඉගැන්වීම කළමනාකරණය කරගත හැකි අතර උසස්පෙළ පංති පවත්වා ගෙන යාම ගැටලුවක් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දෙමව්පියන් ප්‍රකාශ කරන්නේ මඩුකන්ද ජාතික පාසල වැසෙන තුරු බලධාරීන් මර නින්දක පසුවන බවයි.
ඊයේ උද්ඝෝසනය අතරතුර වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වී. රාධක්‍රිෂ්ණන් එහි පැමිණ ප්‍රකාශ කළේ දෙසතියක් ඇතුළත ගැටලුව විසඳන බවයි. එහෙත් දෙමව්පියන් පෙන්වා දෙන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ පොරොන්දුව ප්‍රලාපයක් බවත් කිසිම දේශපාලන බලධාරියෙක් මේ පිළිබඳව උනන්දුවක් නොදැක්වීමෙන් එය පැහැදිලි වන බවත් ය.
සනත් ප්‍රියන්ත වවුනියාවේ සිට.