වල්ලපට්ට හාමුදුරුවෝ අල්ලයි

වල්ලාපට්ටා කිලෝ 12 ක් රුපියල් ලක්ෂ 180 ක මුදලකට අළෙවි කිරීමට උත්සාහ කළ චීවරධාරියෙකු සහ තවත් අයෙකු මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුබද්ධ පුරාවස්තු ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (08) බොක්කාවල නාරංගස්තැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
විල්ගමුව මාරක ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි බව කියන චීවරධාරියා බොක්කාවල නාරංගස්තැන්නේ පදිංචි අනෙක් සැකකරුගේ නිවසට පැමිණ වල්ලා පට්ටා තොගය ගැණුම්කරුගේ වාහනයට පැටවීම පිණිස රැගෙන එන අවස්ථාවේ පොලීසිය අදාළ වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වල්ලාපට්ටා තොගය මෙයට වසර දෙකකට පමණ ඉහතදී බොක්කාවල නාරංගස්තැන්නේ පදිංචි සැකකරුට ලැබී තිබේ. ඒවා අළෙවි කර දෙන ලෙස පුද්ගලයින් දෙදෙනෙකුට මොහු පවසා ඇත. එම පුද්ගලයෙකු මගින් වල්ලාපට්ටා තොගය පිළිබඳ තොරතුරු දැනගත් චීවරධාරියා අදාල නිවසට පැමිණ එය විකුණා දියහැකි බව පවසා තිබේ.
ඒ අනුව චීවරධාරියා විසින් ගැණුම්කරුවෙකු සොයා ගෙන තිබෙන බවත් එක් කිලෝවක් ලක්ෂ 15 ක මුදලකට අළෙවි කිරිමේදී තමන්ට ලක්ෂ 10 ක කොමිස් මුදලක් අවශ්‍යය බව වල්ලාපට්ටා තොගයේ හිමිකරුට චීවරධාරියා පවසා තිබෙන බවත් පොලීසිය පවසයි.
ඒ අනුව අදාළ ගනුදෙනුව සිදුවූයේ නම් චීවරධාරියාට හිමිවන කොමිස් මුදල රුපියල් ලක්ෂ 120 කි. මහනුවර පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත එම ඒකකයේ නිලධාරීන් පරීක්ෂණ සිදුකර මධ්‍යම පළාත් පුරාවස්තු ඒකකයට සියලු තොරතුරු ලබාදී ඇත. එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.
