වරාය නගරයේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සිදු කළ යුතුයි – කිරිඇල්ල

වරාය නගරයේ මුදල් පාලනය පාර්ලිමේන්තුව යටතට ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුව මගින් වසරකට වරක් රජයට සම්බන්ධ ආයතන වල ගිණුම් අධීක්ෂණය කරන බවත් කෝප්,කෝපා හා මුදල් කාරක සභාවට වරාය නගරයේ ගිණුම් පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැති බවත් ඒ මහතා කීය.

අධික වර්ෂාවත් සමඟ ජලයෙන් යටවූ මහනුවර සුදුහුම්පොළ නිවාස හිමියන්ගේ සුවදුක් විමසීමට පෙරේදා (18) පැමිණි අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

දේශීය සම්පත් සුරකින බවට රටේ ජනතාවට බොරු පොරොන්දු දී චීනයටත් ඉන්දියාවටත් ලංකාවේ සම්පත් විකිණීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වී සිටින බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අතේ දුරින් සිටි ලෝක බලවතුන් මේ වන විට ලංකාවේ බින්න බැහැගෙන සිටින බවත් අදවන විට ආණ්ඩුව ලෝකයට ණයකාරයකු වී ඇති බවත් කී කිරිඇල්ල මහතා ඉදිරි පරම්පරා හයක අනාගත දරුවන්ට ණය ගෙවමින් වහලුන් ලෙස ජීවත්වීමට සිදුවන බවත් කීවේය.

රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය පිළිබදව හාන්කවිසියක් හෝ අවධානය යොමු නොකොට ජනතාව දැඩි පිඩාවකට පත්කිරිමට මේ ආණ්ඩුව කටයුතු කර තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තව තිබෙන වෙනත් රටවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය කර ජනතාවට සහන සලසා දී තිබුණද ලංකාවේ එවැනි තත්ත්වයක් දක්නට නැති බවද කිරිඇල්ල මහතා කීවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.