වයඹින් වාර්තා වන අලුත් වගා මාරයා

 වයඹින් වාර්තා වන අලුත් වගා මාරයා

මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ වගා හානි සිදුකරන පළඟැටියා මෙතෙක් හඳුනාගෙන නැති බව කෘෂිකර්ම නිලධාරීහු පවසති. මේ කෘමි සත්වයා දහස් ගණනක රංචු ලෙස වගා බිම්වලට කඩා වැදී බෝග කා දමමින් විනාශ කරන්නෙකි. ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් මීට පෙර හමුවී නොමැති මෙම පළඟැටි විශේෂය ශරීරය පුරා විහිදුනු  කහ පැහැති ඉරි සහිත සත්වයෙකු බවත් තමන්ට දක්නට  ලැබුණු පළමු අවස්ථාව මෙය බවත් වයඹ  පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්. ඒ. සීලරත්න මහතා පෙන්වා දෙයි.

මාවතගම  ගොවිපල කිහිපයකින් මෙලෙස සොයා ගැනුණු මෙම පළඟැටි විශේෂය හඳුනා ගැනීම සඳහා උන්ගේ සාම්පල රැසක්  පරීක්ෂණ අංශ වෙත යොමු කර ඇති බවත් පසුගිය සති කිහිපයේදී   ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකින් වාර්තා වූ හානිකර පළඟැටි විශේෂයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බැවින් එකතු කරගන්නා ලද සාම්පල් ඉන්දියාවේ කෘෂිකර්ම පර්යේෂකයෝ වෙතද යොමු කළ බව  කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ ස්ථීර බෝග සායන  වැඩසටහනේ  කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක  සහකාර අධ්‍යක්ෂ ශාන්ත  ලියනගේ මහතා පැවසුවේය. දින කිහිපයකට පෙර මුලින්ම  මෙම  පලගැටි  විශේෂය හඳුනා ගත්තේ පොල් වගා භූමියක සිටියදී වන අතර අද වනවිට මාවතගම  ප්‍රදේශයේ  ගොවිපල රැසක්   එම සත්වයාගේ හානියට ගොදුරු වී තිබුණි.  මේ ආක්‍රමණික සත්වයා තවමත් ශිෂු  අවධියේ පසුවන බවත්, සුහුඹුල් අවධියට පත්වීමෙන් පසුව දැවැන්ත හානියක් සිදුවීමට හැකි බවත් කෘෂිකර්ම විශේෂඥයෝ අනතුරු අඟවමින් පවසති.

මේ වනවිට මෙම සතුන් මර්ධනය කිරීම සඳහා කෘෂි රසායන භාවිතා කිරීම අත්හදා බැලීම ආරම්භ කර තිබෙන නමුත් ගොවි ජනතාව  දැනට කිසිදු රසායනික මර්ධන  ක්‍රියාමාර්ගයක්  නොගැනීම උචිත බව බලධාරීන් පෙන්වා දෙයි. පර්යේෂණ අංශ නිර්දේශ කළ පසු මෙම සතුන්  මර්දනය කිරීමට සුදුසු රසායන ද්‍රව්‍ය භාවිත කිරීමට පෙළඹෙන ලෙස කෘෂිකර්ම   නිලධාරීහු ගොවීන්ගෙන් ඉල්ලා සිටිති.

මෙම පළගැටියා ආහාරයට ගත් ශාක වල නාරටි හැර කිසිදු පත්‍රයක්  දක්නට නොලැබෙන අතර බඩඉරිඟු, කෙසෙල් මඤ්ඤොක්කා, කෝපි ඇතුළු සියලුම බෝගවලට හානි සිදුවන බව ද වාර්තා වේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. එම් . වීරකෝන් මහතාද ස්ථානීය නිරීක්ෂණයට පැමිණි අතර නිලධාරීන්ට උපදෙස් දුන්නේ  වහාම මේ පිළිබඳව පරීක්ෂණ දියත් මර්දන කාර්යයන් සිදුකරන ලෙසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *