වතු කම්කරු වැටුප ගැන තීරණය කඩිනමින් – ඇමති නිමල්
වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නැංවීමට අදාල අවසන් පියවර දෙසතියක් තුළ ගන්නා බව පවසන කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඒ සම්බන්ධ අවසන් යෝජනා කඩිනමින් ලබා දෙන ලෙස වතු සමාගම්වලට දැන්වූ බව පවසයි. මේ සම්බන්ධ සාකච්ඡා වසර 05ක් තිස්සේ දිග්ගැස්සුනු බවත් ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ගෙන යාමට සූදානම් නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා ඔක්තොම්බර් 08 වැනිදා අවසන් තීරණාත්මක සාකච්ඡාවට සම්බන්ධ වන මෙන් වතු වෘත්තීය සමිති හා වතු සමාගම් නියෝජිතයින්ට දැනුම් දුන්නේය.
ඊයේ (24) පැවති සාකච්ඡාවකදී ඇමති නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් පැවසුවේ වතු කම්කරු වැටුප් ගැටලුව විසඳීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවයි. මෙහිදී ඇමතිවරයා පැවසුවේ ඇතැම් වතු සමාගම් රජයට ගෙවිය යුතු වාර්ෂික බදු පවා ගෙවා නොමැති බවයි. වතු කළමනාකරණය පුද්ගලික සමාගම්වලට පැවරීමට අදාල ගිවිසුම් ඉතා දුර්වල බව පැවසූ හෙතෙම පවත්වා ගෙන යා නොහැකි නම් වතු රජයට භාර දෙන ලෙසද දැනුම් දුන්නේ ය. වතුවල ජනයාගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට පවා සමාගම් ක්‍රියා නොකරන අතර ඇතැම් සමාගම් රජයේ මුදලින් හෝ සංවර්ධන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා නොදේ.
මෙම සාකච්ඡාවට එක් වූ ඇමති ජීවන් තොණ්ඩමාන් මෙහිදී පැවසුවේ වතු කම්කරුවන්ගේ සේවක අර්ථසාධක ගෙවීම සම්බන්ධ ගැටලුද පවතින බවයි. ඒ පිළිබඳ කම්කරු කොමසාරිස්ට පැමිණිළි කරන ලෙසද මසක් ඇතුළත නීතිමය පියවර ගන්නා බවද කම්කරු ඇමතිවරයා පැවසුවේය. වතු කම්කරු දිනක වැටුප රුපියල් 1000ක් කිරීමට අදාල යෝජනා සමාගම් දෙසතියක් තුළ ලබා නොදුනහොත් අවසන් පියවර තමන්ටම ගැනීමට සිදු වනු ඇති බවද ඇමති නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් පැවසුවේ ය.