වතු කම්කරුවන්ටත් රුපියල් 5000 දිය යුතුයි. සමස්ත ලංකා වතු කම්කරු සංගමය.

 වතු කම්කරුවන්ටත් රුපියල් 5000 දිය යුතුයි. සමස්ත ලංකා වතු කම්කරු සංගමය.

කොවිඩ් 19 උවදුර නිසා එදිනෙදා තේ දළු නෙළීමේ කටයුතු ආදිය අඩපන වී ආදායම තවත් පහළට වැටීමෙන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින වතු ජනයාටද රුපියල් 5000ක දීමනාව ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය ඉල්ලා සිටී. දිවයින පුරා අඩු ආදායම් ලාභී සෑම පවුලකටම රජය මගින් ලබා දුන් මෙම රුපියල් 5000 දීමනාව වතු කම්කරු ජනයාට අහිමි කර තිබේ. ඔවුන්ට මේ වනවිට ලබා දී ඇත්තේ රුපියල් 3000 බැගින් වන රුපියල් 9000ක වියළි ආහාර සළාක ලබාගැනීමේ මුදලකි. වතු සමාගම් මගින් එම මුදල් ලබා දී ඇත්තේ නැවත අයකර ගැනීමේ පදනමෙනි. හැටන් ප්‍රදේශයේ ඇතැම් වත්තක කම්කරු ජනයා එම ණය මුදලින් ලබා දුන් සහල්ද පරිභෝජනයට නුසුදුසු බව පවසමින් පසුගියදා උද්ඝෝසනයේ නිරත වූහ.

සමස්ත ලංකා වතු කම්කරු සංගමය පෙන්වා දෙන්නේ, ජීවන අසීරුතාවන්ට මුහුණ දී සිටින සෙසු ජනයාට රුපියල් 5000ක ආධාර දීමනාවක් පිරිනැමූ රජය වතු කම්කරුවා අමතක කිරීම කනගාටුදායක බවයි.
වතු කම්කරු ජනයා තමන්ට නියමිත දින 25ම සේවය කළත් උපයා ගත හැකි උපරිම මුදල රුපියල් 19000ක් පමණ වේ. ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීම මේවනවිටත් ඡන්ද පොරොන්දුවක් පමණක් බවට පත්ව තිබේ. පසුගිය කාලයේ පැවති වියළි කාලගුණය නිසා ඔවුන්ට ප්‍රමාණවත්  තේ දළු වාරයක් ලැබුණේ නැත. මාර්තු 20න් පසු ඇඳිරි නීතිය නිසා රැකියාවල නිරතවීම හෝ කුලී රැකියා සඳහා නගරවලට යාමද ඇහිරී තිබුණි. එසේම ගම්වල ජනයාට ලැබෙන අතිරේක ආහාර භෝග කිසිවක් ගෙවතු නොමැති ලැයිම් කාමරවල ජීවත්වන ඔවුන්ට ලැබෙන්නේද නැත. තත්ත්වය මෙසේ වන නිසා සියලු වතු කම්කරු ජනයාට ⁣රුපියල් 5000 දීමනාව පිරිනැමීම රජයේ යුතුකමයි යනුවෙන්ද සමස්ත ලංකා වතු කම්කරු සංගමය ජනාධිපතිවරයා ඇතුළු රජයට දන්වයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *