වතුකරයට කොවිඩ් එන්නත දෙන්න – ජීවන් ඉල්ලයි

මේවන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙන බැවින් වතු ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබාදීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව වතු නිවාස  සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට පළමු වටයේදී එන්නත් 25000 ක් ලබාදීමට සැළසුම්කර තිබුණත් අමාත්‍ය සී.බී රත්නායක හා තමන් මැදිහත්ව එය 50000 දක්වා වැඩිකර ගැනීමට හැකිවූ බවත් ඒ මහතා කීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගිය 05 දා පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තොණ්ඩමන් මහතා මේ බව කීවේය.

තොණ්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානය ඇඳන් 1300 ක් සහිත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙන බවත් එහි ඇඳන් සංඛ්‍යාව 2500 ක් දක්වා ඉහළ නැන්වීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආයෝජන කළාපවල සේවය කරන පිරිසට මෙන්  වතුකරයේ සේවය කරන පිරිසද විශේෂ කණ්ඩායමක් ලෙස සලකා කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට කටයුතු කළ යුතුව තිබෙන බවද හෙතෙම පැවසුවේය.

නුවරඑළිය දිස්ත්‍රික්කය් අධි  අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙන බගවන්තලාව,අඹගමුව, කොටගල,ලිඳුල සහ නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශ වල ජනතාවට මුලින් එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රජය මගින් රසායන පොහොර නැවැත්වීම නිසා සිදුව ඇති තත්ත්වය සම්බන්ධව ගොවීන් සමඟත් අදාළ අනෙකුත් පාර්ශව සමඟත් සාකච්ඡා කළ බවත් පසුගිය රජය ග්ලයිෆොසේට් තහනම් කිරිම නිසා  තේ වගාව විශාල පසුබෑමකට ලක්වූ බවත් කී තොණ්ඩමන් මහතා පොහොර සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ස්ථිර  ප්‍රතිපත්තියක් තිබෙන බවද අවධාරණය කළේය.

එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට තම උපරිම  සහය ලබාදෙන නමුත් මේ සඳහා හොඳ විකල්පයක් හඳුන්වා දීමෙන් පසුව රසායන පොහොර  නැවැත්වීමට කටයුතු කිරීම වඩා යෝග්‍ය බව තම අදහස යැයිද ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.