වතුකම්කරුවන්ට සහන, වියළි සලාක මල්ල ණයට.

 වතුකම්කරුවන්ට සහන, වියළි සලාක මල්ල ණයට.

කොවිඩ් -19 වයිරසය පැතිර යාම පාලනය කිරීමට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව ආර්ථික අපහසුතාවන්ට පත්ව සිටින නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් එක්ලක්ෂ විසි දහසකට රුපියල් 5000.00 බැගින් දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි.
මෙම මුදල ලබා දිය යුතු ආර්ථික පීඩාවන් ගෙන් පෙළෙන වතුකරයේ පුද්ගලයින් අසූ අට දහසක් මේවන විටත් හඳුනාගෙන තිබෙන බවද ඒ මහතා කීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ කොවිඩ්- 19 වෛරසය පැතිර යාම පාලනය කිරීමට ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් රැකියා කිරීමට නොහැකිව පීඩාවට පත්ව සිටින වතුකරයේ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය සමග අද (06) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මෙම මුදල් ඉදිරියේදී ග්‍රාම නිලධාරීන් මගින් ගෙවීමට සැළසුම් කර තිබේ.
මෙම මාධ්‍යය හමුවේදි අදහස් දක්වමින් ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩි.පි.ජි.කුමාරසිරි මහතා සෞභාග්‍යයා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන වතුකරයේ මුඩු ඉඩම්වල ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බවත් අදාල ඉඩම් වතු අධිකාරිවරුන් මගින් හඳුනා ගැනීමෙන් පසු ඒවාහි වගා කිරීමේ අවස්ථාව වතුකරයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට ලබාදීමට තීරණය කර තිබෙන බවත් පැවසුවේය.
බීජ ඇට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නොමිලේ ලබා දී වතුකරය පුරා සෞභාග්‍යයා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන දියත් කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
වතු කම්කරුවෙකුට මසකට රුපියල් නවදහසක් වටිනා වියළි සලාක මල්ලක් ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බවත් එය දින 10 කට වරක් රුපියල් 3000.00 බැගින් ලබාදෙන බවත් ඒ මහතා කීය.
රජයෙන් සහ වතු සමාගම් වලින් ඒ සදහා මූලික ප්‍රතිපාදන ලබාදෙන බවත් වියළි සලාක මල්ලේ වටිනාකම් වතු කම්කරුවන්ගෙන් වාරික තුනකින් යළි අය කරගැනිමට කටයුතු කරන බවත් හෙතෙම පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *