ලේංසු අයියලාගේ සුලුගුණේ

 ලේංසු අයියලාගේ සුලුගුණේ

ලේංසු අයියලාගේ සුලුගුණේ

ජීවිතයම දුර්ග මගක දිවෙන දුෂ්කර ප්‍රයාණයක් වූ සමයෙක ඔහු උපන්නේ මීමුරේ ය. යම්තම් අකුරු සාස්තරය දන්නා කවුරුන් හෝ උපන් නැකත පාදා පින්වත් කුමරෙකු උපන්හයි තල්පතක ලියා නෑ සනුහරේ හැමට සැළ කර සිටියදී  මව්පියෝ ආරච්චි මහත්තැන් හමුවීමට ගියේ බිළිඳාට නමක් ඉල්ලා ගනු පිණිසයි. ඔවුන් සිත තෙරපෙන නම් පොඩිත්තක් තිබුණද ඊට එළියට පනින්නට ආරච්චි මහත්තයාගෙන් ඉඩක් ලැබුණේ නැත. අප්‍රමාණ දුක්ඛ භෝජ්‍යයෙන් යැපෙන මේ මිනිසුන්ට සිය නිවසේ පිල්කඩ මතට ගොඩ වන්නට හෝ ඇරයුම් නොකළ අහංකාර ආරච්චි මහත්තයා දරුවාගේ නම ගිගිරුවේ ය. “ඕකට නම තියාපියව් ලේන්සුවා කියලා.” මේ ආරච්චි වන්දනාවේ ප්‍රථිඵලය වූයේ ලේන්සුවාට බාල දරුවා නිකම්ම නිකම් පිනා වීමයි. ආරච්චි රාළට ලේන්සුවා වූ පසුකලෙක ගමට ලේංසු මාමා වූ අපට ලේංසු අයියා වූ නිරව්‍යාජ ගැමියා මහනුවර ආනන්ද අයියාගේ ගජ සෆාරිය රැක බලාගෙන හිඳිනුයේ, දසන් දක්වා සිනාසෙමින් අවසන් මොහොතේදී මා හා පැවසුවේද “ඒ කාලේ හැටිනෙ මහත්තයෝ” යනුවෙනි. වැඩවසම් පීඩන අවශේෂයන්හී ජීවමාන ගොදුරක්ව සිටි ඔහු අපට නුවර එන්නට පාර පාදා දෙනු වස් මන්නය සහ පොරව ගෙන පෙර දා රැයේ මහ වැස්සෙන් ඉදිරී පතිත වූ ගසක් කපන්නට ගොස් පැමිණ සිටියේ ය. ගතෙන් වෙහෙස පල වුවද තෘප්තිය ගසෙන් මිදෙන්නට හැකි වීමයි. එහෙත් මළ පොතේ අකුරක් නූගත් මේ ගැමියාගේ මව්පිය සනුහරය වැඩවසම් වියගසෙන් නොමිදී මහ හිමේ මීමුරයෙන් පල්ලම් බැස සුලුගුණයේ පොළවට පස් ව ගිය මතක දුක්ඛය බරැතිව මහද ඇනී තිබුණේ ය.

මගේ මේ ගමන අහම්බ ඇරයුමක පලයෙකි. මහනුවර පත්තර මිතුරු අසේල කුරුලුවංශගේ ඇරයුමෙන් කමල්, ෂේන්, නදීක, ආනන්ද අයියා, සිංදු කියන වික්ටර් මාමා හා ඩොල්කි සුනිල් ද ගමනට එක්ව සිටියහ. ගමනාන්තය ආනන්ද අයියාගේ ගජ සෆාරියයි. අරමුණ ආනන්ද, චමින්ද කුරුප්පුආරච්චි හා මාධ්‍ය  මිතුරන්ගේ එකතුවෙන් සුලුගුණේ දරුවන් හැට දෙනෙකුට පාසල් යන්නට අවශ්‍ය කළමනා බෙදා දීමයි. ඒ අතර, වැඩ කලබලයෙන් මිදී දවසක් දෙකක් වනන්තරේ නිස්කාංසු සෞන්දර්යයේ ගිලී සිටීමේ අවැසි බවයි. ඒ හතර මායිමේ දුරකථන සංඥා නොවීමේ නිවනට සමවැදීමේ  ප්‍රීතිය අත් විඳීමයි.  

නුවර මහියංගණ පාරේ දහඅට වංගුවෙන් පල්ලම් බසිද්දී ඈත සුන්දර බිම්තැන්න අන් දිනකට වැඩි පළා පැහැයකින් දිසෙන්නට වූයේ දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැහි දිය උරා බී තිබූ නිසාය. ගමන් දුරේ අවසන් සැතපුම් කිහිපය හසලකින් හැරී යන්නට සිදු වූ නමුත් අපට වූයේ මගක් ගොස් නැවත හැරී එන්නටය. වැව් හා ඇළ වාන් දමන්නට වී තිබුණේ මහ මග, ගඟක් කරමිනි. ඒ නිසා හසලකින් මහියංගණයට ගොස් නිපෝන් පාලම, ගිනි පෙට්ටි පාලම පසු කර සුලුගුණයට පිවිසෙන්නට සිදු වූයේ පැය දෙකක පමාවකිනි. නමුත් ඒ පමාව නාඹර කොරළි කූරින් කිහිප දෙනෙකු ගමන් තනියට කැඳවා දුන්නේ ය.

සුලුගුණු පවත

ගම වනගත ය. අතිශයින් හුදෙකලාව පිහිටියේ ය. හසළකට නුදුරේ වුව මාතලේ දිසාවේ ලග්ගල පල්ලේගම මායිම් තුළ පිහිටියේ ය. එක් රාජකාරියක් ලග්ගලින්ද තවත් රාජකාරියක් පල්ලේගමෙන් ද  ඉටු කර ගැනීමට සිදුවන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය සභාව දෙඅතක තිබෙන්නේ ය. ඒ නිසා එකම රාජකාරියක්වත් නිසි පරිදි ඉටු කර ගැනීමේ පහසුව ගැමියන්ට නොවේ. දුම්බර හරිත වනයෙන් වැසුණු කඳු පංතීන් අතර පුලුල් ලියැදිවලින් යුක්ත කුඹුරු සහිත මිටියාවත මැදි කරගනිමින් පිහිටි ගම සංචාරයට හා ගිමන් නිවන්නට කෙම් බිමකි. ඒ ඔස්සේ හැතැක්ම හත අටක් පයින්ම ඉහළට ගිය විට වඩාත් දුෂ්කර ගලමුදුන ගම හමුවේ. තවත් අතෙක පැරණි දන්දෙණිය ගම පිහිටා තිබුණද, නිබය වෙද මහතෙකු හැරුණු කල සෙසු සියලු ගැමියෝ සාරවත් කුඹුරු වතු පිටි පවා වනයට හැර දමා ඒ ශාපලත් ගම හැර පිටව ගියෝ ය. මේ වන මැදින් තවත් සැතපුම් හත අටක් දුර ගිය කල මීමුරේ ගම්මානයටද යා හැකි නමුත් අද ශිෂ්ටාචාරයට හසුව එගම සුලුගුණයට වඩා ඉඳුල්ව ඇත. සුලුගුණු පවත විමසන විට ජනප්‍රවාදයනට සවන් දෙන්නට සිදු වේ. ලේංසු අයියා හා තවත් ගැමියනට අනුව මෙගම රාජකීයයන්ගේ ගිමන් නැවතුම් පොළකි. ආනන්ද අයියා හා පත්තර මිතුරන්ගේ සමහර කතා රාවණ ප්‍රවාද හා සම්බන්ධ වේ. මහනුවර රජුන් වෙහෙසව පැමිණ සුලු ගුණයක් ලැබුවේ මෙහි දී යැයි මතයෙකි. රාවණ නිරිඳු සීතාව පැහැර ගෙන  යද්දී අසනීප වූ ඇයට ගිමන් නිවන්නට ඉඩ සළසා සුලුගුණයක් අත් වූයේ මෙහිදී යැයි තවත් මතයෙකි. එක්තරා චමත්කාරජනක දිය පතහක් ග්‍රාම නාමයට ඉවහල් වූ බව තවත් අදහසෙකි. ආනන්ද අයියාගෙ ගජ සෆාරියේ සිට හූවක දුරින් කුඹුරු යායෙන් හා කුඩා දොළ පහරකින් එපිට වන වගුරකි. මහ දවල්ද මද අඳුරක ගිලි එහි ඇමසෝනියානු ස්වභාවය සෞන්දර්යය හා භීතියේ විස්මය සම්මුඛ කරවයි. වගුරට පිවිසි වහාම දකින්නට ලැබෙන්නේ දෙවියන්ගේ ළිඳ යැයි වහරන කදිම දිය පතහකි. එහි දිය පළිඟුවන් ය. බෙහෙවින් සිසිල් හා මෘදු ය. වැටුණු තුරු පතින් අඩි තුන හතරක ගැඹුරේ පිහිටි පතුල වැසී නොතිබුණහොත් කිසියම් දිය ඇල්ගීයකින් විසිරෙන දීප්තිමත් ලුමිනස් කොළ වර්ණයේ ආශ්චර්යය දැක ගත හැකි වේ. ඇතැම් ග්‍රීස්ම සමයෙක ගම්මු මේ පතහට පැමිණෙන්නේ බීමට දිය ගන්නට හෝ සිහිල් දිය නාන්නටය. සුවිසල් වෘක්ෂ මූලයක පිහිටි මේ උල්පත අසළ පොළවෙන් ඉහළ පැන විසිරෙන සුපිරිසිදු දිය දෙස වරුවක් වුව බලා බවුන් වැඩුමට පුලුවන. අප හා එහි ගිය පත්තර මිතුරු මහනුවර කමල්ට තරම් මේ දිය පතහ හා බැඳුණු විචිත්‍ර මතක කිසිවෙකුට නොවේ. ඒ මෙහි ගෙවූ ආනන්දජනක හෝරාවන් නිසා ය.

දෙවියන්ගේ ළිඳෙන් මීටර් හැට හැත්තෑවකට ඔබ පිහිටියේ යකාගේ ළිඳයි. එය දනවන්නේ බිය මුසු ගුප්ත බවේ සෞන්දර්යයි. එහි දිය නිරන්තරව ගොජ දමන්නේ යකඩ කලු දිය දූවිල්ලක් විසුරුවමිනි. කිසිම ජීවයක සේයාවක් හෝ පතහ පතුළේ නොවේ. ගැමියන්ට අනුව මේ දිය ලවණෙන් අධිකය. පිටව යන දිය මග දෙපස කහ මලකඩ තැම්පත්ව තිබේ. සැබවින්ම මේ දෙපතහ සොබාදම විස්මිත නිමැවුම්කරුවෙක් බව පවසන්නේ ය. මේ ගුප්ත සෞන්දර්යය හා සබැඳි ගැමි ප්‍රවාදයකට අනුව ගිලන් වූ රජ මෙහෙසියකට සුලු ගුණයක් අත්කර දෙන්නට දෙවියන්ගේ ළිඳ සමත් වූ නිසා ග්‍රාම නාමය පට බැඳුණි.

හැන්දෑවේ සාජ්ජ

ප්‍රමුඛ කොට වී ගොවිතැනෙන් යැපෙන අහිංසක ගැමියන්ගේ දරුවනට අවැසි පාසල් උපකරණ සෑම වසරක අන්තිමයේ ලබා දෙන්නේ පොඩි පහේ මඟුලකිනි. ගැමි කතුන් අත් කැවුම්, වංඩු තනා ගෙනැවිත් තිබුණේ සංග්‍රයටය. එන මග සපයා ගත් සූකර මාංශය උයන්නට කැප වූයේ ෂේන් සෙනවිරත්නයෝ ය. අපට කළිං ජර්මනියේ හෙලන් සමග පැමිණි සිටි තේජාගෙන් දුම්වැටි සංග්‍රහය කි. ලේංසු අයියාද තවත් අත් උදව්කරුවෙකු ද බත්, සැමන්, මඤ්ඤොක්කා කොළ උයා තිබූ අතර ගිනි මැළයක් ගසා කොරළින් පළහන්නට උදව් වූහ. පුංචි පහේ සප්පායමකින් පසුව රස සරණිය මවන්නට ඩොල්කි සුනිල් ද ගී ගැයීමම ජීවිත යැයි සළකන වික්ටර් මාමා ද එක් වූහ. මද වේලාවකින් එහි පැමිණ සිටි ගම්මුන්ගේ නර්තන ලීලා ය. ඉදින් එහි මඟුලක් නොවීද? මේ ගැමියන් වැඩි දෙනෙකු නාගරික ප්‍රවාහයෙන් මිදී සිටියහ. නූතන අධ්‍යාපනයේ පහස නොලද නමුත් නිර්ව්‍යාජයෝ ය. සෑම තරුණයෙකුම පාහේ බතට වඩා බුලතෙන් සප්පායම් වන බව පෙනෙන්නට තිබුණි. ඒ සන්ධ්‍යාවේ අපේ ආගමනය සිදුවන විට කුඹුරුවල සී සාමින් සිටි හෝ දිය මංකඩවලින් අපේ රථය නිසි මග ගන්නට උදව් වූ පිරිස ය.

ආනන්ද අයියාගේ ගජ සෆාරිය මෙවන් හමුවකට කදිම බිමක් වන්නේ එහි පිහිටීම නිසා ය. එතැන සුලුගුණේ වෑ කන්දට මුහුණ ලෑ උස් බිමකි. අක්කර දහයක තරමේ බිම් කට්ටියේ වන වගාව හෝ එළවලු පළතුරුය. ඒවා රැක ගත යුත්තේ වනයේ නිතර සරන අලි ඇතුන්ගෙනි. උන්ගෙන් පහර කෑ ගම්මුන්ද ඉන්නා හෙයින් අලි කතා එමට ය. රැය පහන් කරන්නට වන්නේ නූතන සනීපාරක්ෂක පහසුකම්ද එක්තැන් කළ රුක් නිවෙස් මත ය. පාන්දර මිහිදුම හා සියොත් කූජන සමග පිබිදෙන්නට රමණීය නිදි අත්දැකීමක් ඉන් ලැබෙයි. දුරකතන සංඥාවලින් වෙහෙස නොවී දවසම වනයේ හෝ ගම්මැද්දේ ඇවිදින්නට ලේංසු අයියා හෝ අන් ගැමියෙකු අඬ ගසා ගන්නට ලැබේ. ගමනේදී දිය කෙළි පිණිස ඉඩ එමටය.

ගැමි ජන දුක් ගැනවිලි

සුලුගුණු චමත්කාරය කීම පමණක් නොසෑහේ. ඔවුන් බසයක් අල්ලා ගන්නට කිලෝමීටර් හතඅටක් දුර යා යුතුය. එය මහා ගැටලුවක් නොවන්නේ පාසැල් දරුවනට පවා පයින් ගමන පුරුදු වීම නිසාත් ත්‍රී වීලර දෙක තුනක් ගමේ තිබෙන නිසාත් ය. ගමේ පාසලට නම් ඇතැම් විෂයකට ස්වේච්ඡා ගුරුවරයෙකු හෝ දිය යුතු බව ගම්මු පවසන්නේ බලධාරීන්ගේ වගකීම පසක් කරවමිනි. ඔවුන්ට දියෙන් හිඟයක් නැත. අවශ්‍ය වන්නේ දිය උල්පත් කළමනාකරණයයි. පවුල් 55කගේ නිවෙස් වෙත දිය සම්පාදනයට ඉදි කළ ටැංකිය සඳහා දරා ඇති වියදම ලක්ෂ 55 කි. ඒ පෙට්ටගම හදන්නට එපමණ මුදලක් වැය වී දැයි ගම්මු විස්මයෙන් කල්පනා කරති. සුලුගුණේ වැව් සොරොව්වට යා කොට තැනූ කොන්ක්‍රීට් ඇළ කුඹූරුවලට දිය බෙදන්නටය. එහෙත් සොරොව්ව අඟල් නමයක් ඉස්සූ පමණින් ඇළේ වතුර උතුරා ඉවත යන්නේ ඒ ඉංජිනේරු ඥාණය කාණුවක් පමණක් තනා ඇති බව පෙන්වා දෙමිනි. ගමේ වෑ කන්ද මත්තෙන් ද තවත් කිහිප තැනකින් ද අලිවැට දිවෙන්නේ උන් ගම් වදිනු වැළැක්වීමට ය. එහෙත් එය කම්බි වැටක් පමණක් වී ඇත්තේ විදුලිය කවා නැති නිසා ය.

ගැමියෙක් හා රුක් නිවෙසකට වැදී සංලාපයේ යෙදෙන්නේ නම් මෙවැනි අඩුපාඩු සියයක් අසුලා ගත හැකි ය. එහෙත් ඒ ගැමියා අහිංසක ලේංසු අයියා වී නම් “කාලෙ හැටිනෙ මහත්තයෝ කියනු ඇත” එහෙත් ඒ කාලයේ ස්වභාවයද පාලකයින්ගේ ඇල්ම බැල්මේ ස්වභාවයදැයි සිතා බැලිය යුතුය. මහත්වරුනි ඒ දුර්ගයෙන් එබී බැලිය යුතුමය. ලේංසු අයියලාට කඳුළු පිස ගැනීමට ලේන්සුවක් දිය යුතු කාලය එළඹ තිබෙන බව වටහා ගත යුතු ය.

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *