ලංගම උලා කන ටෙන්ඩර් මගඩිය, ආරක්ෂක සේවා හිතවත්කමට දෙයිද?

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවා ස්ථානයන්හි ආරක්ෂක සේවාවන් සඳහා පුද්ගලික ආරක්ෂක අංශයන්ගේ සේවාව ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය නියමිත ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව සිදුවන බවට ටෙන්ඩර් ඉල්ලුම්කරුවෝ චෝදනා කරති.
පුවත්පත් දැන්වීම් මගින් ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රසිද්ධ කළ යුතු වුවත් ගමනා ගමන මණ්ඩලය එවැන්නක් සිදුනොකර ටෙන්ඩර් කැඳවීමට කටයුතු කර තිබෙන බවත් අදාළ ටෙන්ඩර් විවෘත කරන දිනයක හා ස්ථානයක් පිළිබඳව ටෙන්ඩර්කරුවන් දැනුවත් කිරීමට ලංගම බලධාරීන් කටයුතු කර නොමැති බවත් ඔවුහූ පවසති.
මෙයට පෙර ටෙන්ඩර් පෝරම රුපියල් 5000.00 ක මුදලක් ගෙවා ලබාගත යුතුව තිබුණද මෙවර නොමිලේ අදාළ පෝරම ලබාදීමට කටයුතු කර තිබෙන බවත් ලංගම පාඩු ලබන තත්ත්වයක තිබියදී නිලධාරීන් මේ ආකාරයට ලබාගත හැකිව තිබෙන මුදල් පවා ලංගමට අහිමි කිරීම සම්බන්ධව අමැතිවරයාගේ අවධානය යොමුවිය යුතු බවත් ටෙන්ඩර් ඉල්ලුම්කරුවෝ ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොළඹ,කළුතර,ගම්පහ,මහනුවර,රුහුණ,සබරගමුව,නුවරඑළිය,ඌව,රජරට,වයඹ,උතුර හා නැගෙනහිර ප්‍රාදේශික වලට අයත් ඩිපෝ,ප්‍රාදේශීය වැඩපොළ හා රියදුරු අභ්‍යාස විද්‍යාල වලට පුද්ගලික ආරක්ෂක සේවාවන් ලබා ගැනීම පිණිස මෙම ටෙන්ඩර් ඉල්ලුම්පත් නිකුත්කර තිබේ.
ඒ ඒ ප්‍රාදේශික සඳහා ආරක්ෂක සේවාවන් සැපයීම වෙනුවෙන් ටෙන්ඩර් පෝරම අදාළ ප්‍රාදේශික කාර්යාල මගින් ලබාගත යුතු බවත් සම්පූර්ණ කරන ලද පෝරම එම ප්‍රාදේශිකයන්ගේ ප්‍රාදේශීය කලමණාකාරවරයා වෙත බාරදිය යුතු බවත් පවසන ටෙන්ඩර්කරුවෝ ඒවා ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(මුදල්) වෙත ලබාදීම සිදුවන්නේ ප්‍රාදේශීය කලමණාකරුවන් මගින් බවද අවධාරණය කරති.
ටෙන්ඩර් වල රහස්‍ය භාවය ඒවා විවෘත කරන අවස්ථාව තෙක් පැවැතිය යුතු වුවත් පවතින තත්ත්වය තුළ එවැන්නක් සිදුවේද යන්න සැක සහිත බවද ඔවුහූ පවසති.
මෙම ටෙන්ඩර් ලබාදීම පසුපස අතයට ගණුදෙණුවක් සිදුවන්නට යන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් කර විනිවිද භාවයකින් යුතුව ටෙන්ඩර් ක්‍රියාවලිය සිදු කිරීමට පියවර ගන්නා ලෙස ටෙන්ඩර්කරුවෝ ප්‍රවාහන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරති.