ලංකා මුහුදේ මත්ස්‍ය මංකොල්ලයක්. යුරෝපා මත්ස්‍ය අපනයන තහනම නැවත එයිද?

ශ්‍රී ලංකාවට අයත් IMU අංක යටතේ රජය දනුවත්ව විදෙස් නැව් 35 මෙරටට අනන්‍ය මුහුදු තීරයේ මසුන් මැරීමේ නිරතව සිටින බවත් එම මත්ස්‍ය ඵලදාව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොරව නෙළා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව හරහා ප්‍රති අපනයනය කිරීම සිදුකරන බැවින් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට යලිත් යුරෝපා මත්ස්‍ය වෙළඳපොල තුළ තහනමක් පැනවීමේ අවදානමක් මතුව ඇති බවත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී සමගි ජන බලවේගයේ දෙවිනුවර ආසනයේ සංවිධායක සහ මාතර දිස්ත්‍රික් මහා මැතිවරණ අපේක්ෂක චතුර ගලප්පත්ති සඳහන් කරනවා. අද (24) පෙරවරුවේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ පිළිබඳව වැඩිදුරටත් දැක්වූ චතුර ගලප්පත්ති මහතා, “ආණ්ඩුව ධිවර කර්මාන්තයේ ජාවාරමක නිරතව සිටිනවා. ඒ පිළිබඳව මිට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් අදහස් දැක්වූ අවස්ථාවේදී රජය තාවකාලිකව එම ජාවාරම නවත්වනු ලැබුවා. නමුත් කොරෝනා උවදුර හමුවේ රජය මෙම වැඩසටහන නැවතත්  ආරම්භ කර තිබෙනවා. ඒ අනුව විදේශීය නැව් 35 කට ලංකාවට අයත් මුහුදේ මත්ස්‍ය ඵලදාව ගොඩබෑමට අවසර ලබාදී තිබෙනවා.” යනුවෙන් පැවසුවා.

අදාල 35 සඳහා ජාත්‍යන්තර මුහුදු තිරයේ පමණක් නොව මෙරට මුහුදු තිරයේ පවා ධිවර කටයුතුවල නිරතවීමට අවස්ථාව ලබාදී ඇති බවත් ඒ තුළින් අපේ දේශීය ධීවර කර්මාන්තයට විශාල පහරක් වදින බැවින් අහිංසක දේශීය ධීවරයන්ට ඉතා නරක අන්දමින් මෙය බලපාන බවද ගලප්පත්ති මහතා සඳහන් කරනවා. ලංකාවෙන් යුරෝපය කරා මත්ස්‍ය අපනයන සිදු කිරීමට මෙය නරක අන්දමින් බලපාන බවද ඔහු සඳහන් කරනවා. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර මත්ස්‍ය අස්වැන්න , දේශීය ධිවර ජනතාව විසින් ජාත්‍යන්තර ප්‍රමිතිය සහිතව නෙළාගන්නා මත්ස්‍ය අස්වැන්න සමඟ මිශ්‍රකර ප්‍රති අපනයනනය කිරීම සිදුකරන බවත්, මෙම තත්වය නිසා මෙරට ධිවර ජනතාවට නියමිත මිලක් නොලැබී සොච්චම් මුදලක් පමණක් උපයාගැනීමට සිදුව තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. ශ්‍රී ලංකාව තුළ බහුදින ධිවර යාත්‍රා 6000 ක් පමණ තිබෙන අතර එයින් නිර්මාණය වන ඍජු රැකියා ප්‍රමාණය ලක්ෂ 2 ක් පමණ වන අතර මෙහි වක්‍ර රැකියා ප්‍රමාණයද සැලකිල්ලට ගනු ලැබු විට ලක්ෂ 20 ක් පමණ වන බවත් ඒ අනුව මිලියන දෙකක ජනතාවකගේ රැකියා සම්බන්ධව වත්මන් රජය තැකීමකින් තොරව කටයුතු කරන බවත් ගලප්පත්ති මහතා පෙන්වා දෙනවා. අද වනවිට දික්ඕවිට වරායට මෙම මත්ස්‍ය අස්වැන්න ගොඩ ගසා ප්‍රති අපනයනය කරන බවත් දේශීය ධීවර කර්මාන්තය ගොඩනගනවා කියා බලයට පැමිණි පිරිස මහා පරිමාණ ජාවාරමක් කරගෙන යන තත්ත්වයක් තුළ දේශීය ධීවර ජනතාව අන්ත අසරණ තත්වයකට පත්කොට ඇතැයි ගලප්පත්ති මහතා  චෝදනා කරනවා.

මේ තත්ත්වය තුළ යුරෝපීය මත්ස්‍ය තහනම ශ්‍රී ලංකාවට එරෙහිව නැවතත් බලාත්මක වීමේ අවදානමක් ඇතිව ඇති බවත් එවැන්නක් සිදු වුවහොත් එය නැවත ඉවත් කරගැනීමට නොහැකි තත්ත්වයක් මතුවිය හැකි බැවින් මෙරට ධීවර ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක්විය හැකි බවට ඔහු අනතුරු අඟවනවා. මේ වනවිට බහුදින ධීවර ක්ෂේත්‍රය කඩාවැටීම නිසා ජනතාව අන්ත අසරණ බවට පත්වෙමින් තිබෙන බවත් මෙම තත්ත්වය මඟහරවා ගැනීමට ක්‍රියා නොකළහොත් ඉදිරියට අර්බුදය උග්‍ර විය හැකි බවද ඔහු පවසනවා. එසේම මේ නිසාවෙන් ලංකාවට ලැබීමට නියමිත විදේශ විනිමය අද හොර පාරෙන් වෙනත් රටවලට ඇදී යන බවත් ඉදිරියේදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම නැව් 35 තුළින් රටට අහිමිවූ විදේශ විනිමය පිළිබඳව මාධ්‍යට අනාවරණයක් කිරීමට තමන් ක්‍රියාකරන බවද ඔහු සඳහන් කරනවා. ධීවර ජනතාවගේ අයිතිය රැකදෙන ලෙසත්, එසේම මෙරටට ලැබිය යුතු විදේශ විනිමය විදෙස් රටවලට ගලායාම නවතාලන ලෙසත් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ගලප්පත්ති මහතා පවසනවා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *