රෝස් මේරි වත්තේ කැලෑ කැපීම තහනම්, සිංහරාජයට ළඟයි

 රෝස් මේරි වත්තේ කැලෑ කැපීම තහනම්, සිංහරාජයට ළඟයි

ජල මූලාශ්‍ර රැසකින් යුක්ත සහ සිංහරාජ වනයට මායිම්ව පිහිටි රක්වාන රෝස්මේරි වත්තේ ඉඩම් හෙළි පෙ‍හෙලි කිරීම වනයට දැඩි තර්ජනයක් වන හෙයින් එය වහා නතර කිරීමට පියවර ගන්නා ලෙස රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව පොලීසියට  උපදෙස් දී තිබේ. සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව  හා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අකිල එල්ලාවලගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර පවසා තිබෙන්නේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක් පුරා පැතිර පවතින රක්වාන රෝස්මේරී වත්ත වගාව සඳහා යැයි පවසමින් හෙළි කිරීම නිසා දැඩි වන විනාශයක් සිදුවන අතර ජල උල්පත් සිඳී යමින් පවතින බවයි.

“මෙම ඉඩම පුද්ගලික ඉඩමක් බව පවසමින් හය දෙනෙකුගෙන් යුක්ත පිරිසක් තේ වගාව සඳහා හෙළි කරමින් සිටිනවා. නමුත් හෙක්ටයාරයකට වැඩි සංවේදී කලාපයක පිහිටි ඉඩමක් එහෙම අනවසරයෙන් වගාවට හෙළි කරන්න බැහැ. අපි මේ ඉඩම්වල අයිතිය ගැන හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් හෙළි කරන මේ ඉඩම තියෙන්නෙ වනය මැද.  ඒකට මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගන්න වුවමනයි.” යනුවෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙහිදී පවසා තිබේ. ඔහු පවසන අන්දමට රක්වාන කුඩා නගර, මාදම්පේ සහ රක්වාන ග්‍රාමීය ඇතුළු ජල සම්පාදන ක්‍රම පහකට පමණ ජලය ලබාදෙන මුලාශ්‍ර මෙම සංවේදී   කලාපය තුළ පිහිටා තිබේ.

මේ වනවිට අදාල ඉඩම් හෙළි කළ එක් පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර වහාම නීතිමය පියවර ගන්නා ලෙස සබරගමුව නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

කෙසේ නමුත් මෙම කලාපය අවට පදිංචි ජනතාව පවසන්නේ ඉඩම්වලට ඔප්පු ඇති හෙයින් තමන් ඒවායේ නීත්‍යානුකූල හිමිකරුවන් බැවින් තේ වගාවේ නිරතවීමට කිසිවෙකුගේ අවසරයක් වුවමනා නැති බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *