රෝගීන් 91. අගමැතිගෙන් පක්ෂ නායකයන්ට රැස්වීමකට ඇරයුම්

 රෝගීන් 91. අගමැතිගෙන් පක්ෂ නායකයන්ට රැස්වීමකට ඇරයුම්

තවත් රෝගීන් පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වීම සමග මෙරටින් වාර්තාවන සමස්ත රෝගීන් සංඛ්‍යාව 91 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අතර අයි.ඩී.එච් රෝහලේ නිල වාර්තාවලට අනුව වාර්තා වූ පළමු ලාංකීය රෝගියා වන සංචාරක මග පෙන්වන්නා පූර්ණ සුවය ලබා රෝහලෙන් බැහැර ගොස් තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය නිසා උද්ගතව ඇති අවදානම් සහගත තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂවල නායකයන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති බව අරලියගහ මන්දිරයේ ප්‍රකාශකයන් පවසනවා. එම රැස්වීම හෙට (24) පෙරවරුවේ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් අරලියගහමන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සාමූහික වැඩපිළිවෙලකට සාක් රටවල් එකඟ වී තිබෙනවා. ඒ පසුගියදා සාක් නායකයන් අතර ටෙලි කොන්ෆරන්ස් ක්‍රමයට පැවති සාකච්ඡාවේ ප්‍රථිඵලයක් ලෙස. කොරෝනා පැරදවීමට සාමූහික සාක් අරමුදලක් ගොඩනැගීමට නියමිත වන්නේත් මේ වැඩපිළිවෙල තුළ. අද ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, එම අරමුදලට ඇමරිකානු ඩොලර් ලක්ෂ 50ක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිඥා දී ඇති බවයි. එසේම මෙරට ජනයාගේ ආරක්ෂාව උදෙසා කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලක් පිහිටුවීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

අද පෙ.ව 6.00 සිට පස්වරු 2.00 දක්වා කොළඹ, ගම්පහ සහ පුත්තලම සහ උතුරේ දිස්ත්‍රික්ක පහක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළා. එම කාලපරාසය තුළ ජනතාව භාණ්ඩ මිළදී ගැනීමට නගරවලට පැමිණීම නිසා බොහෝ ප්‍රදේශවල දක්නට ලැබුණේ තදබදයක්. එහෙත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල ක්‍රියාත්මක වීම නිසා බොහෝ දෙනා මුවවැසුම් භාවිතා කරන්නට සහ එකිනෙකා අතර කිසියම් දුර පරාසයක් පවත්වා ගන්නට උනන්දු වන බව පෙණුනා. නමුත් තවමත් සමහර ජනයා නිතිපතා ලබාදෙන සෞඛ්‍යමය අවවාද පිළිබඳ උනන්දු සහගතව ක්‍රියා නොකරන බවද ඇතැම් ස්ථානවලදී දක්නට ලැබුණා.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *