රොගීන් 34. රටේ ජනතාවගේ විනය ගැන කම්පා වෙනවා – පවිත්‍රා

මේ වනවිට වාර්තාවන කොරෝනා ආසාධිතයන් ගණන 34ක් වනවිට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තර අවදියෙන් හා සාකච්ඡාවල පසුවෙමින් සිටින බව කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (17) පැවැති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවා. මෙම මාධ්‍ය හමුවට එක්වූ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ හෙට (18) දින මධ්‍යම රාත්‍රී 12 සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවන බවයි. ගුවන් තොටුපල විවෘතව ඇත්තේ හුවමාරු, පිටවීම් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණි.
ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ චීන ජනයා මෙම සටන දිනීමට හේතුව විනයගරුකව කටයුතු කිරීම බවයි. චීනයේ සිට මෙරටට ආ චීන සේවකයින් පවා දින 14ක් නිරෝධායනයට ලක්වූ බව ඇය පැවසුවා. එහෙත් රටවල් කිහිපයක සිට මෙරටට ආ ජනයා අතරින් ඇතමෙක් ගුවන් තොටුපලේ්දී හා නිරෝධායන කාර්යයට ගෙනයන අතර හැසිරුණු අන්දම සහ සමහර අය නිරෝධායනයෙන් වසං වූ ආකාරය කම්පා විය යුතු තත්ත්වයක් බවත් එමගින් අපේ රටේ විනය පිරිහී ඇකි බව පැහැදිලි වන බවත් ඇය පැවසුවා.
තවත් විශාල පිරිසක් පිළිබඳ විමසිලිමත් විය යුතුව ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනා පුත්තලම දිසාවේ අය බවද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුණා. එබැවින් ඇතැම්විට පුත්තලම දිසාවේ සමහර ප්‍රදේශ විශේෂ නිවාරණ කාර්යයන්ට ලක් කළ හැකි බව මෙහිදී පැවසුණා. මේ වනවිට ඇතැම් ප්‍රදේශවල විදෙස්ගතව සිට පැමිණි පිරිස් නිවාසවලම නිරෝධායනය කර ඇති අතර ඔවුන් හඳුනාගැනීමට පොලීසිය විශේෂ පෝස්ටරයක් එම නිවෙස්වල ප්‍රදර්ශනය කරනවා. එහෙත් එවැනි නිවෙස්වල වෙසෙන්නේ කොරෝනා වැළඳුනු අය යැයි සැක උපදවා නොගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පැවසුවා.
මින් ඉදිරියේදී කොරෝනා රෝගය හා මර්ධන කටයුතු පිළිබඳ සියලු තොරතුරු අද පිහිටුවූ මධ්‍යස්ථානය මගින් පමණක් ලබාදෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව පැවසුවා. සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා පිළිබඳ අසත්‍ය පුවත් පතුරුවා ජනයා භීතියට පත්කළ 40දෙනෙකුවත් මේ වනවිට හඳුනාගන ඇති බව අද මාධ්‍ය හමුවට එක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.
මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිනී පවිත්‍රා පැවසුයේ එදිනෙදා හරිහම්බ කරන ජනතාව පිළිබඳ සළකනවිට දින 14ක පමණ කාලයක් සඳහා නගර වසා දැමීම දුෂ්කර කාර්යයක් වනු ඇති බවයි.
ලසන්ත ද සිල්වා