රේටිංවල අපිට තැනක් නැහැ – මහාචාර්ය සම්පත් අමරතුංග

ජාත්‍යන්තර මට්ටමින් අවධානය දිනාගත හැකි වැදගත් පර්යේෂණ මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදු කෙරෙන ප්‍රමාණය අඩු බවත්  ලෝක ශ්‍රේනිගත කිරීම් වල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පසුපසට තල්ලු වීමට බලපාන ප්‍රධාන කරුණ මෙය බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

දැනට විශ්ව විද්‍යාල වල පර්යේෂණ සිදුවන්නේ එක් එක් මහචාර්යවරයාගේ හෝ ආචාර්යවරයාගේ පෞද්ගලික අවශ්‍යතාව මත බවත් මෙය වෙනස් කිරීම සඳහා පර්යේෂණ සඳහා වග කියන පීඨයක් හෝ ආයතනයක් සෑම විශ්ව විද්‍යාලයකම මාස පහක් වැනි කාලයක් තුළ ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා කීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ 2020 පර්යේෂණ වාර්තා එළිදැක්වීම නිමිත්තෙන් එම ආයතනීය ශ්‍රවානාගාරයේදී 27 දා පැවැති උත්සවයේදී අමරතුංග මහතා මේ බව ප්‍රකාශ කළේය.ගෝලීය උෂ්ණත්වය,පරිසර වෙනස්වීම්,බෝනොවන රෝග ආදි ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ ඔස්සේ පැන නැග තිබෙන ප්‍රශ්න වලට විසඳුම් ලෙස කළ නව සොයා ගැනීම් 300 කට අදාළ පර්යේෂණ පත්‍රිකා සාකච්ඡාවට බඳුන් කිරීම මෙහිදී සිදු කෙරුණි.

එහි සමාරම්භක උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පර්යේෂණ සඳහා සෑම විශ්ව විද්‍යාලක්ම වාර්ෂිකව මිලියන 100 කට වැඩි මුදලක් වැය කරන බවද ප්‍රකාශ කළේය.

සාමාන්‍ය මට්ටමේ පර්යේෂණ සිදුකර ජත්‍යන්තර ශ්‍රේනිගත කිරීම වල ඉදිරියට යාමට අපේ විශ්ව විද්‍යාල වලට නොහැකි බවත් අතිදක්ෂ ආචාර්ය,මහචාර්යවරු ඉන්න නිසා එම මානව සම්පතද උපයෝගි කරගෙන උසස් ප්‍රමිතියෙන් යුත් ජත්‍යන්තර අවධානය දිනා ගන්නා පර්යේෂණ සඳහා අප යොමුවිය යුතුව තිබෙන බවත් මහචාර්යවරයා පැවසුවේය.

උසස් පෙළ විභාගයෙන් සමත්වන සියලු දෙනාට විශ්ව විද්‍යාල වලට ඇතුළු වීමට හැකියාවක් නොලැබෙන බවත් කන්නංගර මහතාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් ප්‍රයෝජන ගෙන ඉදිරියට එන දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා පසුබිම සැකසීම ජනපතිවරයාගේද සංකල්පය බවත් කී ඒ මහතා ඒ යටතේ පුරවර විශ්ව විද්‍යාල (City University) 10 ක් දිස්ත්‍රික්ක මට්ටමින් ස්ථාපිත කිරීමට සැළසුම්කර තිබෙන බවද අවධාරණය කළේය.

කොවිඩ් පළමු රැල්ල පැමිණෙන විට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ තාක්ෂණය භාවිතය ඉතා පහළ මට්ටමක පැවති බවත් පසුගිය ජනවාරී හා පෙබරවාරී මාස වල එකම විශ්ව විද්‍යාල දරුවෙක්වත් අන්තර්ජාලය ඔස්සේ ඉගැනුම් සිදුකර නොතිබූ බවත් කී ඒ මහතා අද වනවිට තත්ත්වය හාත්පසින්ම වෙනස්ව ගොස් සියලු දරුවන් තාක්ෂණය භාවිතයෙන් ඉගැනීමේ කටයුුත සිදුකරන බවද කීවේය.

විශ්ව විද්‍යාල වසා තිබුණත් දරුවන්ගේ අධ්‍යාපනයට එය කිසිදු බාධාවක් වී නොමැති බවත් මෙම මාසයේ මුල් සති තුන තුළ ඔන්ලයින් ඔස්සේ පංති 70000 ක් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවත්වා තිබෙන බවත් සභාපතිවරයා පැවසුවේය.

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක,නියෝජ්‍ය උපකුලපති මහචාර්ය පරාක්‍රම කරුණාරත්න,විද්‍යා පීඨයේ පීඨාධිපති මහචාර්ය සාලුක කොඩිතුවක්කු.පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහචාර්ය එච්.එම්.ටී.ජී.ඒ පිටවල,මහචාර්ය රොහාන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *