රාජිතගේ ඇප නියෝගය අවලංගු කෙරේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය කොළඹ මහාධිකරණය විසින් බල රහිත කර තිබෙනවා. සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැර ගෙන යාමට අදාලව සිය රියදුරු බව කියන පුද්ගලයෙකු හා තවත් තැනැත්තෙකු යොදාගෙන පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු කළ මාධ්‍ය සාකච්ඡාවට අදාල අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙනුයි හිටපු ඇමතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප අයැද සිටියේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීන්දු කලේ මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය දෝෂ සහිත බවයි.

ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙසටද කොළඹ මහාධිකරණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට නියම කලා.

පසුගිය ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

සැකකරුට ඇප ප්‍රදානය කිරීමේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් සැලකිල්ලට ලක් නොකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප නියම කර ඇති බවයි නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමක් ගොණු කරමින් පෙන්වා දී තිබුණේ.

සැකකරුගේ වෛද්‍ය වාර්තා නිසි පරිදි කැඳවා විමර්ශනයක් සිදුකිරීමට මහේස්ත්‍රාත්වරිය අපොහොසත් වූ බව නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් සඳහන් කර තිබුණා.

එම ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුවයි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද (13) ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *