රාජ්‍ය සේවකයාගේ වැටුප් කැපීම කබලෙන් ලිපට දැමීමක් – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප හෝ අඩක් ආණ්ඩුවට ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් සිය කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදාගනිමින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ, ජනාධිපතිතුමාගේ අනුදැනුම මත යැයි තමන් විශ්වාස කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලිපියක් ලියමින් ජනාධිපතිවරයාට දන්වා තිබේ. “එසේ නොමැතිනම් ජනාධිපති ලේකම්වරයාට කාර්යාලීය ලිපි ශීර්ෂය යොදාගනිමින් රාජ්‍ය නිලධාරීන්ට බලපෑමක් වන ආකාරයට ඉල්ලීමක් ලෙස ලිපියක් නිකුත් කිරීමට කිසිදු නෛතික බලයක් නැත. මේ හරහා රාජ්‍ය සේවකයින්ගේ මැයි මසට අදාලව හෝ අඛණ්ඩව වැටුප් කප්පාදුවකට ආණ්ඩුවේ සූදානම පිළිබඳව අදහසක් ඉදිරිපත්වී ඇත. ඇතැම් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල බලහත්කාරයද යොදාගනිමින් කොරෝනා මර්දන අරමුදලට යැයි කියමින් සිදුකර ඇති වැටුප් කප්පාදුව එවැනි ක‍්‍රියාවලියක් පිළිබඳව සාක්‍ෂි දරයි”. යනුවෙන්ද ඔවුන් එම ලිපියේ සඳහන් කර ඇත.
ලේකම්වරයාගේ ලිපියට අනුව රාජ්‍ය සේවකයින්ගෙන් කපාගන්නා වැටුප වැන්දඹු හා අනත්දරු අරමුදලකට බැර කරන බව සඳහන් වේ. එහෙත් එවැනි වෙනම පවත්වාගෙන යන අරමුදලක් පිළිබඳව කිසිදු සඳහනක් මහබැංකුව මට්ටමින් හෝ මුදල් අමාත්‍යාංශ මට්ටමින් හෝ නැත. එසේ තිබේනම් එම අරමුදල පිළිබඳව තොරතුරු හෙළිකරන ලෙසද මෙතෙක් රාජ්‍ය සේවකයින්ගෙන් කපාගෙන ඇති වැන්දඹු හා අනත්දරු අරමුදලේ ප‍්‍රමාණය කොපමණද යන්න හෙළිදරව් කිරීම සිදුකරන ලෙසද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මෙම ලිපියෙන් ඉල්ලා සිටී.
රණුග්ගේ වැටුප් කොමිසම නිර්දේශ කර ඇති වැටුප් වැඩිවීම පවා රාජ්‍ය සේවකයාට අහිමි වී ඇති බව සඳහන් කරන මෙම ලිපිය වසංගතය හමුවේ අන් සියලූ පාර්ශවයන් මෙන්ම රාජ්‍ය සේවකයාද බලවත් අසීරුතාවයකට පත්ව ඇති බව සඳහන් කරයි. “වෙනදා අතිකාල සේවය කරමින් ලබාගත් අමතර ආදායම අහිමිව ගොස් ඇති අතරම විවිධ කාරණාමත ලබාගත් ණයට වැටුප හිලව් වීමේ තත්වය යටතේ ජීවත්වීමට තිබූ අමතර ආදායමක් වේ නම් ඒ සියල්ලද අහිමි වී ඇත. එහෙත් රාජ්‍ය සේවකයින් යන ලේබලය නිසා කිසිදු සහනාධාරයකට හිමිකම් කීමේ හැකියාවද නැත. උත්සව අත්තිකාරම් ලබාදීමද සම්පූර්ණයෙන් නවතාදමා ඇති නිසා අපේ‍්‍රල් 08 වෙනිදායින් පසුව යළි මුදලක් අතට ලැබන්නේ මැයි 25 වෙනිදාය. එම මුදලද රාජ්‍ය සේවකයින්ට අහිමිවුවහොත් නැවත ජුනි මස 20 දිනය පසුවන තෙක් බලාසිටීමට සිදුවනු ඇත. ඒ අනුව ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කිරීමට කිසිසේත්ම හැකියාවක් නැත.”
කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුලූ අත්‍යවශ්‍ය සේවාවන්වල නියුතු රාජ්‍ය සේවකයින් ජීවිත අවධානම පවා නොසලකා තම කාර්යය නොපිහිරිහෙලා ඉටුකර ඇත. එසේම පසුගිය කාලය පුරාවට රාජ්‍ය සේවකයින් විසින් වැටුප් මෙන්ම වෙනත් අයිතිවාසිකම් වෙනුවෙන්ද කරනු ලැබූ අරගල තාවකාලිකව නවතා දමනු ලැබුවේද වගකිවයුතු වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස යම් කැපකිරීමක් සිදුකරමිනි. ආණ්ඩුව වැටුප් කප්පාදු කිරීමට සැරසෙන්නේ මේ වටපිටාව තුළය. එය රාජ්‍ය සේවකයා කබලෙන් ලිපට ඇද දැමීමකි. එම නිසා මෙම ක‍්‍රියාවලියට අපගේ බලවත් විරෝධය පළකරන අතරම, ඔබගේ ලේකම්වරයාගේ මීට අදාල ලිපිය වහාම ආපසු කැඳවා, වැටුප් කප්පාදුව නතර කරන ලෙසත්, ලැබිය යුතු පරිදි වැටුප් අඛණ්ඩව ලබාදෙන ලෙසත් ඉතා ඕනෑකමින් යුතුව අවධාරණය කර සිටිමු. යනුවෙන්ද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය යවා ඇති ලිපියේ සඳහන් වේ.