රාජ්‍ය නිලධාරීන්ගෙන් රතු එළියක්

දඩබල්ලන් ලෙසින් කටයුතු කරමින් රාජ්‍ය නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්කරන රජයේ පසුපෙළ මන්ත්‍රීවරු බැද නොදැම්මොත් එහි අනිටු ඵලවිපාක රජයට ඉතා නුදුරේදීම දැකගත හැකි බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරයි.

මහනුවරදී (06) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසා සිටියේ රජයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් මේ වන විට රාජ්‍ය නිලධාරීන් මර්දනය කිරීමේ දැවැන්ත පහත් ක්‍රියාවලියක නිරත වෙමින් පසුවන බවය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය. පසුගියදා චමල් රාජපක්ෂ, ජනක තෙන්නකෝන් අමාත්‍යවරු හමුවී ඇති රජයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ප්‍රාදේශීය ලේකම්වරුන්ට, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුන් ට එරෙහිව දැඩි චෝදනා එල්ල කරලා තිබෙනවා. ඔවුන්ගේ චෝදනාව තමයි මෙම රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව මත නොව රජයේ ප්‍රතිපත්ති මත පමණක් කටයුතු කරනව කියන එක. දේශපාලකයන්ගේ කටයුතුවලට, ඔවුනගේ අත්තනෝමතික ඉල්ලීම් වලට අවනත නොවන මෙම රාජ්‍ය නිලධාරීන් පිරිසක් වහාම ස්ථාන මාරු කරන ලෙසද මේ පසුපෙළ මන්ත්‍රීවරු තරයේ ඉල්ලීම් කර තිබෙනවා.
අපි මේ තත්ත්වය ගැන ඉතාමත් කණගාටු වෙනවා. මේ රජය බලයට පත් කිරීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කළ පිරිස අතර රාජ්‍ය සේවකයෝ ඉහළින්ම ඉන්නවා. ඒ අය තමයි 90% තැපැල් ඡන්දෙ දීලා උපරිම කැපවීම කළේ.ජනාධිපතිතුමා ගේ සෞභාග්‍යයෙ දැක්ම යථාර්ථයක් කරන්න කැපවීමෙන් කටයුතු කරන්නේත් මේ අය චෝදනා කරන රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම තමයි. බිම් මට්ටමේ රජයේ සියලුම කටයුතු ජනතාව සමඟ ගැටෙමින් ක්‍රියාත්මක කරන්නේ මේ නිළධාරීන් කණ්ඩායම තමයි. හැබැයි රාජ්‍ය නිලධාරීන් මේ කටයුතු කරන්නේ පවතින නීති පද්ධතියට එකඟවයි. පවතින රාජ්‍ය සේවා නීති පද්ධතියට පටහැනිව අපිට කටයුතු කරන්න බෑ. මේ රාජ්‍ය නිලධාරී කවුරුහරි පවතින රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරලා තියෙනවා නම් ආයතන සංග්‍රහය මත ඒ අයට එරෙහිව පියවර ගන්න පුළුවන්.
පසුපෙළ මන්ත්‍රීවරුන් කියන ආකාරයට මේ රාජ්‍ය නිලධාරීන් කවුරුවත් හිතුවක්කාරීව අත්තනෝමතිකව ක්‍රියා කරලා නෑ. දේශපාලකයන්ගේ ඕනෑඑපාකම් අනුව කටයුතු නොකිරීම තමයි ඔවුන්ගේ චෝදනාව. මේ රටේ රාජ්‍ය සේවයේ නිලධාරීන් පාලනය කරන්න දේශපාලනඥයන්ට ඉඩ දෙන්න බෑ.1988 වැඩ වර්ජනයෙන් සිදුවූ දේ අපට තවම මතකයි. මේ අවස්ථාවේ රාජ්‍ය සේවකයන් වශයෙන් අපි පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ සීමාවේ ඉඳලා කටයුතු කරන්න කියලා. ජනාධිපති තුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා වහාම මේ දඩබල්ලන් ටික බැඳලා දාන්න කියලා. නැත්නම් රජයට ඉදිරියේදී ලොකු ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. මේ වන විට ප්‍රාදේශීය ලේකම් වරු, සහකාර ප්‍රාදේශීය ලේකම් වරු හා ග්‍රාම නිලධාරී වරු තමයි මේ රටේ ජනතාව අතරට රාජ්‍යසේවය අරගෙන යන්නේ.පසුපෙළ මන්ත්‍රීවරු මේ රාජ්‍ය නිලධාරිවරුන් එයාලට ඕන විදිහට පාලනය කරන්න ආවොත් රාජ්‍ය තන්ත්‍රයම අවුලක් වන බවට අපි අනතුරු අඟවනවා.
අපි රාජ්‍ය සේවකයන් වශයෙන් සෑම විටෙකම කටයුතු කරන්නේ පවතින රජයට පක්ෂපාතීවයි. දේශපාලනඥයන් කියන ,කියන ආකාරයට හෝ ඊට එහා පවතින රාමුවෙන් පිට අපිට වැඩ කරන්න බෑ. මේ වනවිටත් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව විරෝධතාවයක් දේශපාලන පැත්තෙන් මතුවෙලා තිබෙනවා. දේවානි ජයතිලකලාට, සහකාර පොලිස් අධිකාරී එරික් වැන්නන්ට, පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු රාජ්‍ය සේවකයන්ට දැඩි දේශපාලන බලපෑම් එල්ල වන ආකාරය අපිට පෙනෙනවා. තවදුරටත් මේ ආකාරයෙන් බලපෑම් කළ හොත් රජයට අනිසි ප්‍රතිඵලවලට අනිවාර්යෙන්ම මුහුණ දෙන්න වෙන බව අපි මතක් කරනවා.තව දුරටත් මේ විදියට දේශපාලන බලපෑම් අත්තනෝමතික එල්ල වෙනවා නම් සියළුම රාජ්‍ය සේවකයන් එක ධජයක් යටතේ එක්ව පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දඩබ්බර ක්‍රියාවලට එරෙහිව දැඩි වෘත්තිය පියවර ගන්නවා කියන එක අවසන් වශයෙන් මතක් කරන්න කැමතියි යනුවෙන් ද හෙතෙම වැඩිදුරටත් කීය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published.