රාජගිරියේ කොවිඩ් වැළඳුනු වැඩිහිටි නිවැසියන්ට රෝහල් පහසුකම් අහිමි වෙයි.

උපස්ථායකයන් කැඳවා ගෙන එන්නැයි කියා රෝහල්වලට භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි.

රාජගිරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන වැඩිහිටි නිවාසයක වෙසෙන වැඩිහිටියන් සිව් දෙනෙකු කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් අසාධ්‍ය දෙදෙනෙකු රෝහල් ගත කිරීමට නොහැකිව සිටින බව වාර්තා වේ.

මෙම වැඩිහිටියන් කාත් කවුරුවත් නොමැති පිරිසක් වන අතර අදාල නිවාසයේ දීර්ඝ කාලයක් තිස්සේ රැකවරණය ලබන විවිධ අසනීපවලින් පෙළෙන පිරිසකි. අද සිදු කරනු ලැබූ පරීක්ෂණවලින් සිව්දෙනෙකු ආසාදිත බව හඳුනාගනු ලැබ ඇති අතර සෙසු වැඩිහිටියන්ටද රෝගය බෝ වීමේ අවධානමක් ඇත.

එසේ තිබියදී⁣ රෝගී සිව්දෙනා රෝහල් ගත කිරීමට උත්සාහ ගත් නමුත් ඔවුන් බලා ගැනීමට යෙදවීම සඳහා කිසිවෙකුත් නොමැති බැවින් උපස්ථායකයන් කැඳවා ගෙන එන්නැයි රෝහලෙන් පැවසූ බව වාර්තා වේ. වැඩිහිටි නිවාසයට සම්බන්ධ මූලාශ්‍ර සඳහන් ක⁣ළේ කොවිඩ් රෝගීන් රඳවා සිටින වාට්ටුවක උපස්ථායකයන් ලෙස රැඳෙන්නට කිසිවෙකු හෝ කැමති නොවන අතර එය ප්‍රායෝගිකද නැති බවයි.

මෙම අසාධ්‍ය වැඩිහිටියන් දෙදෙනා රෝහල් වෙත ගෙන යාමට දෙවරකදී ගිලන් රථ පැමිණියද කොවිඩ් නොවැළඳුණු උපස්ථායකයන් නොමැතිව ගෙන ගියත් රෝහල් මගින් භාර නොගන්නා බව කියා කැඳවා ගෙන යාම ප්‍රතික්ෂේප කර ඇත.

මේ වනවිට අදාල වැඩිහිටියන් නිවාසයේ කාමරයක රඳවා සිටින අතර ඔවුන් පවුල් සබඳතා නැති අසරණ පිරිසක් බවත් ඔවුන් වෙත සමීප වී උපස්ථාන කිරීමේ වැඩපිළිවෙළක් තමන් හට නොමැති බවත් ස්ථාන භාරකාරවරිය පැවසුවාය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.