රඹුක්කන පරපේ කණුගොල්ල ජනයාගේ තිබහට විසඳුම්

රඹුක්කන ජී. රාජපක්ෂ
කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල ගැටළුවට විසඳුම් ලබා දීමේ අරමුණින් ඉදිකළ රඹුක්කන පරපේ කණුගොල්ල ග්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ දී සිදුකෙරිණි.
මෙම ග්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 150 ක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ලෝක බැංකු සහායක ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (WaSSIP) මඟින් වැය කර ඇත.
මෙමඟින් පරපේ උතුර, පරපේ දකුණ හා කණුගොල්ල ග්‍රාම සේවා වසම්වල පදිංචි පවුල් 828 ක පුද්ගලයින් 3213 දෙනෙකුට පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට හැකි වෙයි.
මෙතෙක් කල් පානීය ජල ගැටළුවට මුහුණදුන් පරපේ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමටද මෙතුළින් හැකියාව ලැබෙන අතර සනීපාරක්ෂක පහසුකම් හා ජල නල පද්ධතිය ඉදිකිරීම සඳහා රු. ලක්ෂ 20 ක් වැය කර ඇත.
මෙම ව්‍යාපෘතිය මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදිකළ උඳුගොඩ ජල පරීක්ෂණාගාරය, කොටියාකුඹුර ජල පරීක්ෂණාගාරය හා රඹුක්කන මහජන පහසුකම් මධ්‍යස්ථානය ප්‍රජා අයිතියට පත් කිරීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නාලිකා පියසේන, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක ඒ.ඒ වීරකෝන්, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ , දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සැලසුම් අනූෂා මොරවකආරච්චි, ව්‍යාපෘති අධ්‍යක්ෂ එන්.යූ.කේ රණතුංග, ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ දිස්ත්‍රික් කළමනාකරු ඒ.එච් නිමල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.