රනිල්ට ආණ්ඩු ගත්තත් කරන්න බෑ – කිරිඇල්ල

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට කොතරම් මහන්සි වී ආණ්ඩු බලය ලබා දුන්නත් ඔහුට නියමිත කාලය අවසන් වනතුරු ඒ කිසිදු ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි වූයේ යැයි ජාතික සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගොස් 2002 දී එජාප ආණ්ඩුවක් ලබාගෙන රනිල් එහි අගමැති කරවූ නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනයක ජනපතිනිය සමඟ අගමැතිවරයා ප්‍රශ්න ඇතිකර ගත් නිසා ඇය ආණ්ඩුව විසුරුවා හැරි බවත් 2005 දී ලබාගත් ආණ්ඩුවට සිදුවූයේද ඒ හා සමාන දෙයක් බවත් හිටපු මන්ත්‍රීවරයා කීය. මහනුවර දෙවන රාජසිංහ මාවතේදී සමඟි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමට එක්වෙමින් කිරිඇල්ල මහතා මේබව පැවසුවේය.
වසර 2005 සිට 2015 දක්වා එජාපය විපක්ෂයේ සිටියදී පක්ෂයේ මන්ත්‍රීවරු 65 දෙනෙකු ආණ්ඩුව හා එක්වූ බවත් බොහෝ අසීරුතා මධ්‍යයේ 2015 දී ආණ්ඩුවක් ලබාගෙන මාස තුනක් යන්නට මත්තෙන් බැඳුම්කර ප්‍රශ්නය ඇතිකර ගත් බවත් කී ඒ මහතා එජාප නායකයාට කොයිතරම් මහන්සිවී ආණ්ඩු ලබාදුන්නත් ඒක පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවද අවධාරණය කළේය. බැඳුම්කර සිද්ධිය නිසා ජනපති මෛත්‍රි හා අගමැති රනිල් අතර ගැටුමක් ඇතිවූ බවත් මේ නිසා කැබිනට් එකද දෙකට බෙදී කටයුතු කළ බවත් හෙතෙම පැවසුවේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු ජනපති මෛත්‍රි කල්තියා දැන සිටි බවත් අගමැති හා පැවැති ගැටුම හේතුවෙන් ඔහු ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකර විදේශගතවූ බවත් කී කිරිඇල්ල මහතා සිද්ධියෙන් පසු මෙරටට ඒමට අවස්ථා තුනක් තිබියදී ජනපතිවරයා ගුවන්යානා නොමැති බව කියමින් සිංගප්පූරුවේ රැඳී සිටි බවද අවධාරණය කළේය. පසුගිය ජනපතිවරණයේදී පොහොට්ටුවට හිමිවූ ඡන්ද ලක්ෂ 69 ම ඔවුන්ට මහ මැතිවරණයේදීද ලැබෙන බව සලකා මන්ත්‍රී ආසන බෙදීයන ආකාරය ගණනය කළහොත් ඔවුන්ට හිමිවන්නේ ආසන 118 ක් පමණක් බවත් එම ඡන්ද ප්‍රමාණය මේවන විට පහත වැටී තිබෙන නිසා නියත ලෙසම ඔවුන්ට ආසන 113 සීමාවට ළඟා වීමට නොහැකි බවත් හෙතෙම කීය. 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *