රන්ජන්ගේ දුරකතන සංවාද සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

අධිකරණයට අපහාස කිරීමේ වරදකට සිව් වසරක සිරදඬුවමක් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා, තමන්ට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලා සකසන ලද ලිපියට අත්සන් තැබූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කොට තිබුණේය. රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන ලෙස විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවත්, මීට කලියෙන් මාධ්‍ය වාර්තා කොට තිබුණේය.

රන්ජන් රාමනායක මහතා 2017 අගෝස්තු 21 දින අරලියගහ මන්දිරයේදී කරන ලද ප්‍රකාශයකින් අධිකරණයේ ගෞරවය කෙළෙසීමට උත්සාහ කර ඇති බවට, ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ගොනුකරනු ලැබීය. මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන රණවක සුනිල් පෙරේරා මහතා විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණේය. රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කර ඇති බව තීන්දු කළ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, 2021 ජනවාරි 21 දින, ඔහුට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

2020 ජනවාරියේදී, පොලීසිය විසින් රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ, ඔහු සතුව තිබුණු සීඩී තැටි රාශියක්ද පොලිස් භාරයට ගනු ලැබීය. රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමඟ පැවැත්වූ දුරකතන සංවාද විශාල ප්‍රමාණයක් රහසිගතව පටිගත කොට මෙම සීඩී තැටිවල ගබඩා කර තිබුණේය. තමන් එම සීඩී තැටි මාධ්‍ය වෙත නිකුත් නොකරන ලද බව පොලීසිය විසින් තරයේ පවසා සිටියද, පුද්ගලික දුරකතන සංවාද ගණනාවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වූයේය. අතිශය සංවේදී මෙන්ම අතිශය පෞද්ගලික තොරතුරු රැසක් මෙම දුරකතන සංවාදවල අඩංගු වූ අතර, ඒවා රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිකිරීමට සමත් වූයේය. මෙය, “රන්ජන්ගේට්˜ සිද්ධිය නමින්ද ප්‍රසිද්ධියට පත්වූයේය. එම සීඩී තැටි සමාජ මාධ්‍යවලට මුදාහැරිය බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ රන්ජන් රාමනායක මහතා, තමන් එලෙස විවිධ පුද්ගලයන් සමඟ පැවැත්වූ දුරකතන සංවාද පටිගත කරනු ලැබුවේ දූෂණයට හා වංචාවට එරෙහිව කරනු ලබන සටනේදී සාක්ෂි වශයෙන් යොදාගැනීමට බව පවසා සිටියේය. එසේ වුවද, අනෙක් පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව දුරකතන සංවාද පටිගත කිරීම සහ ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින්, මෙරට සදාචාරය පිරිහී ඇති මට්ටම පිළඹිබු වන්නේ යැයි, හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඒ දිනවල ම ප්‍රකාශ කොට තිබුණේය.

ඒ අනුව බලනා විට, “රන්ජන්ගේට්˜ සිද්ධිය නොහොත් රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හරහා වැදගත් තේමාවක් සංවාදයට බඳුන් වූවද, සාමාන්‍යයෙන් අපේ සමාජයට හුරුපුරුදු ආකාරයට, වැඩි දිනක් ගතවන්නට මත්තෙන් බහුතරයකට එය අමතක වී ගියේය. කොරෝනා වසංගතය හේතුවෙන් ද මෙකී සංවාදය තවදුරටත් යටපත් වූවද, මේ හරහා මතු වූ සමාජයීය ගැටළු පිළිබඳව පුළුල් කතිකාවක් අවශ්‍ය බව අපගේ නම් අදහස වන්නේය. දුරකතන සංවාදයට සහභාගී වන අනෙක් පාර්ශ්වයට (හෝ පාර්ශ්වයන්ට) නොදන්වා, මෙයාකාරයට හොර රහසේ පටිගත කිරීම කොතෙක් දුරට නීත්‍යානුකූලද, කොතෙක් දුරට සදාචාරාත්මකද යන්න පිළිබඳව පුළුල් කතිකාවක් අවශ්‍ය වන්නේය. දූෂණයට හා වංචාවට වැට බැඳීමට යැයි කියමින් හෝ මේ අන්දමට හොර රහසේ දුරකතන සංවාද පටිගත කිරීම කොතෙක් දුරට නීත්‍යානුකූලද, සදාචාරාත්මකද යන්න පිළිබඳව පුළුල් සංවාදයක් අවශ්‍ය වන්නේය. මෙවැනි ක්‍රියාකාරකම් හරහා කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට ඇති අයිතියට ඇතිවන තර්ජනය පිළිබඳව සලකා බැලිය යුතු වන්නේය. රන්ජන් රාමනායක මහතා තමන් කරන ලද දේ සාධාරණීකරණය කරනා පරිද්දෙන්, අවසාන ඉලක්කය යහපත් එකක් යැයි කියමින් මෙබඳු ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීමට ඇතමෙකු උත්සාහ දැරුවද, පෞද්ගලිකත්වයට ඇති අයිතිය නීතිගත කිරීමේ අවශ්‍යතාවය මේ හරහා දැඩිව මතුවන්නේය. Helpline launched for sexual harassment victims in the dance music industry  | DJMag.com

අපගේ අදහස අනුව නම්, කිසියම් පුද්ගලයෙකු සමඟ දුරකතන සංවාදයක නිරතව සිටියදී, ඔහුට නොදන්වා එම කතාබහ පටිගත කිරීම මුළුමනින්ම සදාචාර විරෝධී ක්‍රියාවක් වන්නේය. අදාළ පුද්ගලයාගේ නැහැදිච්චකම වන්නේය. වෘත්තීමය වශයෙන් සලකනු ලැබූවද, එය නොමනා පහත් ක්‍රියාවක් වන්නේය. ඕනෑම සංවාදයක් පටිගත කිරීමේදී අනෙකාගෙන් අවසර ගතයුතු වන අතර, එසේ අවසර නොගැනීම අනෙකාට කරන අගෞරවයක්, අගතියක් වන්නේය. මේ වන විට ලෝකයේ බොහෝ රටවල දුරකතන සංවාද පටිගත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නීති ක්‍රියාත්මක වන අතර, තාක්ෂණයේ දියුණුවත් සමඟ එබඳු නීතිවල අවශ්‍යතාවය දැඩිව මතුව තිඛෙන්නේය. උදාහරණයක් ලෙස, දුරකතන සංවාද පටිගත කිරීම ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. කිසියම් ආයතනයකට කවර හෝ හේතුවක් නිසා දුරකතන සංවාදයක් පටිගත කිරීමට අවශ්‍ය විටෙක, සංවාදය ආරම්භයේදී ඒ බව සියලූ පාර්ශ්වයන්ට දැනුම් දිය යුත්තේය. එවිට, පටිගත කිරීමට විරුද්ධ අයෙකු වේ නම් ඔහුට දුරකතනය විසන්ධි කිරීමේ අයිතිය ඇත්තේය. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ පමණක් දුරකතන සංවාද පටිගත කිරීම තහනම් නැත්තේය. ජර්මනිය තුළ දුරකතන සංවාද පටිගත කිරීමේදී ඊට සහභාගී වන සියලූ පාර්ශ්වයන්ගේ කැමැත්ත අනිවාර්ය අවශ්‍යතාවයක් වන අතර, එසේ නොකොට රහසිගතව පටිගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන්නේය. ආරක්ෂක අංශවලට හෝ රජයේ වෙනත් ආයතනයකට කිසියම් අයෙකුගේ දුරකතන සංවාදවලට සවන්දීමට අවශ්‍ය නම්, ඒ සඳහා අධිකරණ විනිසුරුවරයෙකුගේ පූර්ව අවසරය ලබාගත යුතුව ඇත්තේය. අසල්වැසි ඉන්දියාවේ ද කිසියම් තැනැත්තෙකුගේ දුරකතන සංවාදවලට සවන්දීමට රජයට අවශ්‍ය නම් ඒ සඳහා නිසි බලධරයෙකුගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වන අතර, එසේ නොමැතිව රහසින් පටිගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන්නේය.

ලෝකයේ බොහෝ රටවල් හා සසඳන විට, පෞද්ගලිකත්වයට ඇති අයිතිය පිළිබඳව අපේ රටේ බොහෝ දෙනෙකුගේ දැනුවත්භාවය පහත් මට්ටමක පවතින්නේය. තමන්ගේ ජීවිතය පිළිබඳව තීරණ ගැනීමට ඇති අයිතිය සහ ඊට අනුකූලව හැසිරීමට ඇති අයිතිය, පෞද්ගලිකත්වයට ඇති අයිතිය ලෙස හැඳින්වෙන්නේය. ඕනෑම පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට අදාළ ක්ෂේත්‍ර තුනක් තිඛෙනාතර, පෞද්ගලික අවකාශය, පෞද්ගලික තොරතුරු සහ පෞද්ගලික තීරණ යනුවෙන් එම ක්ෂේත්‍ර ත්‍රිත්වය හැඳින්වෙන්නේය. පළමුවෙන්ම, තමන් ජීවත්වන පරිසරය (අවකාශය) තුළ සිය පෞද්ගලිකත්වය ආරඬා කරගනිමින් නිදහසේ ජීවත්වීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් ඇත්තේය. එම අවකාශයට ඇතුළු වී ඔහුට හොරෙන් රූගත (වීඩියෝ) කිරීම හා පටිගත කිරීම එම තැනැත්තාගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය කිරීමක් වන්නේය. දෙවනුව, කිසියම් තැනැත්තෙකුගේ පුද්ගලික තොරතුරු ඔහුට නොදන්වා සොරකම් කිරීම, ඔහුගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය උල්ලංඝණය කිරීමක් වන්නේය. තෙවනුව, පොදුවේ රටට හා සමාජයට හානියක් නොවන පරිද්දෙන්, ස්වකීය ජීවිතය පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය සෑම පුද්ගලයෙකුටම තිබිය යුතුය.

කෙසේ වුවද, පෞද්ගලිකත්වයට ඇති අයිතිය යනු ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කිරීමට ඇති අසීමිත (වල්බූරු) නිදහසක් නොවන බව ද අප තේරුම්ගත යුතු වන්නේය. විශේෂයෙන්, ජාතික ආරඬාවට තර්ජනයක් විය හැකි අවස්ථාවකදී අදාළ පුද්ගලයන්ගේ තොරතුරු අධ්‍යයනය කිරීමට මෙන්ම, ඔවුන්ගේ දුරකතනවලට සවන්දීමේ ඉඩකඩ ආරක්ෂක අංශවලට තිබිය යුතු වන්නේය. එහෙත් ඒ සඳහා ගැලපෙන නීති මාලාවක් සම්මත කර තිබීම ඒ තරමටම වැදගත් වන්නේය. යටකී පරිදි, ලෝකයේ බොහෝ රටවල දක්නට ලැඛෙන පරිදි, දුරකතන සංවාද පටිගත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නීති මාලාවක් සම්මත කිරීම අවශ්‍ය වන්නේය. ඕනෑම පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය නමැති වපසරිය ආක්‍රමණය කිරීමට පෙරාතුව, ලෝකයේ බොහෝ රටවල දක්නට ලැඛෙන පරිදි, ඒ සඳහා අධිකරණ විනිසුරුවරයෙකුගේ පූර්ව අවසරය ලබාගැනීම අවශ්‍ය වන පරිද්දෙන් නීති මාලාවක් සම්මත කිරීම අවශ්‍ය වන්නේය.

මේ අනුව බලනා විට, රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හරහා පිළිඹිබු වන්නේ අපේ රටේ සදාචාරයේ පිරිහීමය. නොහැදියාවය. නැහැදිච්චකමය. අතීතයේ මෙරට පැවති සංස්කෘතිය, සදාචාරය ගැන අප කොතෙක් කයිවාරු ගැසුවද, අනුන්ගේ කුණු ඇවිස්සීමට, අනුන් ගැන ඕපාදූප සෙවීමට අපේ ඇතමෙක් දැඩි කැමැත්තක් ආශාවක් දක්වති. ස්ත්‍රී දූෂණ, අනියම් සබඳතා, මිනීමැරුම් වැනි සිද්ධීන් පිළිබඳ පුවත් මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන විට, තලූමරමින් ඒවා බලන්නට අසන්නට අපේ ඇතමෙක් දැඩි ආශාවක් දක්වති. අසල්වැසි නිවසේ සුළු අඬදබරයක්, බැණවැදීමක් ඇති වූ විට, ඊට සවන් දී කුරිරු සතුටක් ලැබීමට අපේ ඇතමෙක් දැඩි කැමැත්තක් දක්වති. එමෙන්ම, තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටු නොකර, අනුන් ගැන ඕපාදූප සොයා වෙහෙසෙන බොහෝ උදවිය රජයේ ආයතනවල ද සිටිති. වර්තමානයේ දුරකතන සබඳතා හරහා නොමිලයේ ලැබෙන පහසුකම් භාවිත කොට, රහසිගතව දුරකතන සංවාද පටිගත කරන උදවිය රජයේ ආයතනවල ද සිටිති. මේ ක්‍රියාකාරකම් හරහා පිළිඹිබු වන්නේ ඔවුන්ගේ නොහැදියාවය. නැහැදිච්චකමය.

මෙවන් පසුබිමක් තුළ, දුරකතන සංවාද පටිගත කිරීම මෙන්ම පෞද්ගලිකත්වයට ඇති අයිතිය නමැති සංකල්පයද සංකීර්ණ සමාජ සංසිද්ධියක් බව අප වටහා ගත යුත්තේය. මෙවන් පසුබිමක් තුළ, දුරකතන සංවාද පටිගත කිරීමද ඇතුළුව පෞද්ගලිකත්වයට ඇති අයිතිය සම්බන්ධයෙන් සුදුසු නීති මාලාවක් සම්මත කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මතුව ඇති බව අප වටහා ගත යුත්තේය. එනමුදු, හුදු නීති සම්පාදනය පමණක් මේ සඳහා ප්‍රමාණවත් නොවන අතර, අපට මෙන්ම අනෙක් හැම කෙනෙකුටම ද, ස්වකීය පෞද්ගලිකත්වයට අයිතියක් ඇති බව අප හැම කෙනෙකු විසින්ම පිළිගත යුතු වන්නේය. සැම විටම අනෙකාගේ පෞද්ගලිකත්වයට ගරුකිරීමට අප හැම කෙනෙකු විසින්ම පුරුදු විය යුතු වන්නේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.