රත්නපුරේ පී.සී.ආර් මැෂිම කැඩිල නැහැ, දෝෂයක් විතරයි – සබරගමු ආණ්ඩුකාරවරයා කියයි.

රත්නපුර ශික්ෂණ රෝහලේ පිහිටුවා ඇති කොවිඩ් 19 වැළඳී ඇතැයි සැක කරන පුද්ගලයන්ගේ ජෛව පටල සාම්පල පරික්ෂණ සිදු කරන පි.සී.ආර් යන්ත්‍රය කිසිදු දෝෂයකට ලක්වි නැති බවත් එය කැඩී ඇතැයි පැතිර යන ආරංචි සාවද්‍ය බවත් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය. ආණ්ඩුකාරවරයාට අනුව සිදුවී ඇත්තේ සැකසහිත පුද්ගලයින්ගෙන් ලබාගන්නා ජෙව සාම්පල ආරක්ෂිතව තබා ගැනීම සඳහා ඇති රැඳවුම්වල දෝෂ අලුත්වැඩියා කරමින් තිබෙන නිසා මතු වූ තත්ත්වයකි.
අදාල උපකරණ පිළිසකර කටයුතු සිදු කරන තෙක් රත්නපුර දිස්ත්‍රික්කයේ කොරෝනා වයිරසය ආසාදිත බවට තහවුරු වු පුද්ගලයින් පස් දෙනාගේ සමීපතමයන්ගේ ජෙව සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදු කිරිමට පියවර ගෙන ඇත. සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ස්වයං නිරෝධායනයට ලක් වෙන පුද්ගලයින් 320 දෙදෙනෙකුගේ පී.සි ආර් පරික්ෂණවල ප්‍රතිඵල ඉක්මනින් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි. කෙසේවෙතත් සැකසහිත රෝගීන් පැමිණියහොත් ඔවුන්ගේ ජීව පටල සාම්පල පරීක්ෂාවට භාජනය කර ප්‍රතිඵල ලැබෙන තෙක් ප්‍රතිකාර කිරිමට රත්නපුර ශික්ෂණ රෝහලේ වෙනම ඒකකයක් සුදානම් කර තිබෙන බව රෝහල් බලධාරීහු පවසති. සැකසහිත රෝගින් කිහිප දෙනෙකු පසුගිය දිනවලදී එම ඒකකයට ඇතුළත් කර තිබෙන අතර කොවිඩ් 19 රෝගය මර්ධනය කර ඇති බව පැවසූ පසුගිය දිනවල එය අකර්මන්‍ය ව තිබුණි.
පසුගිය දිනවල නැවත හදුනාගත් කන්දකාඩු කොවිඩ් පොකුරේ පළමු ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති අතර දෙවන තෙවන පෙළ හඳුනා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතී. එසේ තිබියදී රත්නපුර ශික්ෂණ රෝහලේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වීම බරපතල තත්ත්වයක් බව ජනතාව පවසති.