රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිලිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිලිබද සටහනක්

නීතිඥ ජගත් ලියන ආරච්චි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් පවතින ආණ්ඩුකම්‍ර ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෙෘ්ධන කෙටුම්පතක් 2022 මැයි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් වූ මෙම කෙටුම්පත 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලෙස අංකනය වී තිබිණි.
මෙම කෙටුම්පත මගින් පවතින ව්‍යවස්ථාවට සිදු කිරීමට යෝජනා කර තිබූ ප්‍රධානතම සංශෝධනය වූයේ විධායක ජනාධිපති ක්‍රමය මුලූමනින්ම අහෝසි කිරීමයි. මහජන ඡන්දයෙන් පත්වන ජනාධිපතිවයකු වෙනුවට පාර්ලිමේන්තුව විසින් පත් කරන ජනාධිපති ධූරයක් යෝජනා කරන අතර එම ජනාධිපතිවරයාට අමාත්‍ය ධූර දැරීමට නොහැකිය. එසේම එම ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස් මත ක්‍රියාත්මක වන නාම මාත්‍ර විධායකයකි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යලි ස්ථාපනය කිරීම. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගනන සේවා කොමිෂන් සභාව යලි ස්ථාපනය කිරීම, ස්වාධින කොමිෂන් සභා ශක්තිමත් කිරීම වැනි සංශෝධනයන්ද කෙටුම්පත මගින් යෝජනා කර තිබිණි. විදේශ පුරවැසියන්ට මැතිවරණ සදහා ඉදිරිපත් වීම තහනම් කිරීම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පක‍ෂ මාරුකිරීමට ඇති අවස්ථාවන් දැැඩි සීමාවකට ලක් කිරීමද මෙම කෙටුම්පත මගින් යෝජනා කරන කැපී පෙනෙන සංශෝධනයන් වේ.
එසේම මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ආගන්තුක ආයතන දෙකක් වූ ආරක‍ෂක මණ්ඩලයක් සහ ජාතික වශයෙන් වැදගත් විෂයන් සාකච්ඡා කිරිම සදහා වූ ජාතික සභාවක් ස්ථාපනය කිරීමද මෙම කෙටුම්පත මගින් යෝජනා කර තිබිණි.
මෙම කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවය පිලිබදව අභියෝග කරමින් පෙත්සම් 5 ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවිය. මැයි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2,3,4,12(1) සහ 12(2) ව්‍යවස්ථාවන්ට පටහැනි වන බැවින් මෙම කෙටුම්පත සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ 2$3ක ඡන්දයට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය බවට මෙම පෙත්සම් මගින් තර්ක කරන ලදී. අගවිනිසුරු ජයන්ත ජයසූරිය සමග ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් මෙම පෙත්සම් මැයි 26, 27 සහ 30,31 යන දිනවලදී විභාග කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් කථානායක වෙත සිය තීරණය දැැනුම්දුන් අතර ඒ අනුව කථානායක විසින් ජූනි 20 වන දින මෙම කෙටුම්පත පිලිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

විධායක ජනාධීපතිධුරය අහෝසි කිරීම

ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසි කිරීම සදහා යෝජනා කර තිබූ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 වන ව්‍යවස්ථාවට අනනුකූල වන බව ප්‍රකාශ කල ශ්‍රේෂ්ඨාධිකරණ එම ප්‍රතිපාදන පැනවිය හැකිවන්නේ පාර්ලිමේන්තුවේ 2$3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයක් මගින්ද සම්මත වීමෙන් පසුව බව සිය තීරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙන ලදී.
මහජන ඡන්දයෙන් පත්වන ජනාධිපති වෙනුවට ජනාධිපති පාර්ලිමේන්තුව මගින් තෝරාපත් කරගැනීම පිළිබද ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 වන ව්‍යවස්ථාවට සහ 4(ඉ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 වන ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එම ප්‍රතිපාදන පැනවිය හැකි වන්නේ ද පාර්ලිමේන්තුවේ 2$3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයක් මගින්ද සම්මත වීමෙන් පසුව බව සිය තීරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙන ලදී.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිලිබද ජනාධිපතිගේ බලතල

පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අභිමත බලය ජනාධිපතිගෙන් සම්පූර්ණයෙන් ඉවත් කර එය පාර්ලිමේන්තුවට ගැනීමට යෝජනා කර ඇති අතර එම ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 වන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනනුකූල බැවින් එම ප්‍රතිපාදන පැනවීමට නම් පාර්ලිමේන්තුවේ 2$3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයක් මගින්ද සම්මත වීමෙන් පසුව බව සිය තීරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය පිළිබදව අවධානය යොමුකල ශ්‍රේෂ්ඨාධිකරණය එම ප්‍රතිපාදන එලෙසින්ම පැනවීම සදහා පාර්ලිමේන්තුවේ 2$3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයක් මගින්ද සම්මත වීමෙන් පසුව බවත් නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුලට ජනාධිපතිවරයාගේ නාමිකයකු පත් කිරීමට හැකි පරිදී වගන්ති සංශෝධනය කරන්නේ නම් එම ප්‍රතිපාදන පැනවීම සදහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවද සිය තීරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක‍ෂ මාරුකිරීම අවහිර කිරීම
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක‍ෂ මාරුකිරීම සහ පාර්ලිමේන්තුවට තේරී පත් වූ දේශපාලන පක්ෂයෙන් නෙරපීමකදී එම කරුණ අභියෝගයට ලක් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයක පමණක් සිදුකිරීම සහ මන්ත්‍රීවරයකු තේරි පත්වූ පක‍ෂය හැර වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයක් විසින් පිහිටුවන ලද රජයක් තුළ, අමාත්‍යවරයකු ලෙස පත්වීම් භාර ගැනීමට නුසුදුස්සෙක් වීම පිලිබදව ප්‍රතිපාද කෙටුම්පත තුල ඇතුලත් වූ අතර එම ප්‍රතිපාදන මගින් ජනතාවගේ අධිකරණ බලය සීමා කිරීමට අපේක‍ෂා කරන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) සහ 4(ඉ) ව්‍යවස්ථාවන් සමග කියවිය යුතු 3 වන ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එම ප්‍රතිපාදන පැනවීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයක් මගින්ද සම්මත වීමෙන් පසුව බව සිය තීරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙන ලදී.

උපදේශක අධිකරණ බලය ඉවත් කිරීම

ජාතික වැදගත් කමකින් යුතු නීතිමය ප්‍රශ්න පිලිබදව ජනාධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ලබාගැනීම සදහා පවතින ප්‍රතිපාදන හෙවත් ශ්‍රේෂ්ඨාධිකරණයට පවතින උපදේශක අධිකරණ බලය ඉවත් කිරීමට මෙම කෙටුම්පත මගින් යෝජනා කරන අතර එම ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 වන ව්‍යවස්ථාවට පටහැනි වන බැවින් ප්‍රතිපාදන පැනවීමට නම් පාර්ලිමේන්තුවේ 2$3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයක් මගින්ද සම්මත වීමෙන් පසුව බව සිය තීරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙන ලදී.
පළාත් සභා පරිපාලන අවසන් කිරීම පිලිබද ජනාධිපති බලතල ඉවත් කිරීම
පළාත් සභාවක් විසින් හෝ ආණ්ඩුකාරවරයා විසින් හෝ පළාත් සභාවක් විසින් ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාවට අනුකූලව ලබාදෙනු ලබන විධාන පැහැරහරින අවස්ථාවකදී එම පළාත් සභාවේ පරිපාලනය පවත්වාගෙන යා නොහැකි බවට ජනාධිපතිට තීරණය කිරීමට ඇති බලය මෙම කෙටුම්පත මගින් ඉවත් කිරීමට යෝජනා කරන අතර එම ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 2 සහ 3 ව්‍යවස්ථාවන්ට අනනුකූල බැවින් එම ප්‍රතිපාදන පැනවීමට නම් පාර්ලිමේන්තුවේ 2$3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයක් මගින්ද සම්මත වීමෙන් පසුව බව සිය තීරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙන ලදී.

ජාතික ආරක‍ෂක සභාවේ සංයුතිය

පනත් කෙටුම්පත මගින් යෝජනා කරන ජාතික ආරක‍ෂක සභාවේ සභාපති අගමැති බවට දක්වා තිබේ. එකී ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 1,2 සහ 3 ව්‍යවස්ථා සමග අනනුකූල බවත් එබැවින් ඒ ආකාරයෙන්ම ප්‍රතිපාදන පැනවීමට නම් පාර්ලිමේන්තුවේ 2$3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයක් මගින්ද සම්මත විය යුතු බවත්, එසේ වුවත් ජාතික ආරක‍ෂක සභාවේ සභාපති ජනාධිපති වන්නේ නම් එම ප්‍රතිපාදන පැනවීම සදහා ජනමත විචාරණයක් අවශය නොවන බවත් සිය තීරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙන ලදී.

සමාප්තිය

මේ අනුව සමස්ථයක් ලෙස ගත් කල කෙටුම්පතේ වගන්ති 54ක් අතරින් වගන්ති 25ක් ම ඒ පවතින ආකාරයෙන්ම පැනවීම සදහා පාර්ලිමේන්තුවේ 2$3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයක් මගින්ද සම්මත වීම අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ,
මෙම කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව වන “ජනතාවගේ පරමාධිපත්‍ය” පිලිබද ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන සමග අනනුකූළ වන බවත් වගන්ති කිහිපයක් 1වන ව්‍යවස්ථාව සහ 2වන ව්‍යවස්ථාවට අනනුකූල වන බවත් එසේ අනනුකූල වන්නේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපාදන ඇතුලත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ විවිධ අනු ව්‍යවස්ථා අනුව බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පැහැදිලිවේ,
පනත් කෙටුම්ත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකිරීටම අපේක‍ෂා කරන ප්‍රධානම වෙනස්කම වන විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම යන්න මේ අනුව ජනමත විචාරණයකින් තොරව සිදුකල නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බව මේ අනුව පැහැදිලිය, නමුත් කෙටුම්පත මගින් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපනය කිරීම, නව කොමිෂන් සභා ස්ථාපනය, ස්වාධින කොමිෂන් සභාවල බලතල වැඩි කිරීම සහ ජනාධිපතිගේ විධායක බලතල අඩු කිරීම යන ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේ 2$3ක බහුතර ඡන්දයෙන් සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පැහැදිලිය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.