රංජන්ගෙන් යහපාලන මනරංජන

 රංජන්ගෙන් යහපාලන මනරංජන

සංකල්පයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතු එහෙත් වර්ථමානයේ ආණ්ඩු කරවන පසුගිය කාලයේ විපක්ෂයේ සිටි උදවිය හෑල්ලූවට හා හාස්‍යයට ලක් කළ යහපාලනය වැසිකිලි වලක දමා කැළතීමේ කාර්යය රංජන් රාමනායක නොදැනුවත්වම පවරා ගෙන සිටි අන්දම මේ දිනවල දැක ගන්නට ලැබේ. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන රංජන් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කළ, ආගම වැනි ඇතැම් සමාජ දේහයන් කුණුව ඇති ආකාරය පෙන්වා දුන්, වැරදිවලට එරෙහිව දබරැඟිල්ල ලෙල වූ අයෙකු ලෙස ප්‍රකටව සිටියේය. ඔහුගේ මාධ්‍ය හමුවීම්වලදී සුපුරුදු සැහැල්ලු ස්වභාවයෙන් “දැන් මේකනේ මල්ලී..” යනුවෙන් අමතමින් සමාජ ශෝධකයෙකු වීමට ගන්නා උත්සාහයන් දැක “මොනව වුණත් රංජා හොඳ එකා” යැයි කියන තරමට සමාජය ගිනි කණ වැටී සිටියේ ය. එහෙත් දැන් රංජන් වටා ගොඩනැගුණු කුමන හෝ චින්තාවක් වේ නම් ඒ සියල්ල අමු අමුවේ බිඳවැටෙන අන්දම දැකබලා ගත හැකි වන අතර එය හාස්‍යජනක තත්ත්වයක් වුවද ඉන් පිළිබිඹු වන්නේ ලංකා සමාජයේ අනන්‍යතාව පිළිබඳ දුක්ඛදායක සිතුවමයි.

මෙම දුරකථන සංවාද තවමත් විශේෂඥ පරීක්ෂණවලට භාජනය වී නොමැති පසුබිමක ඒවා ගැන විවරණ කරන්නට යෑම අප අනුදත් මාධ්‍ය සදාචාරයට තරම් නොවන මුත් අත්දැකීම් අනුසාරයෙන් උපකල්පනය කළ හැකි වන්නේ ඒවා ව්‍යාජ වීමේ සම්භාවිතාව ඉතා අවම බවයි. මේ සංවාදවලට ඈඳෙන සෙසු පාර්ශව හා කතාබස් කොට ඇති උදවියට තමන් දන්නා අයගේ කටහඬ මෙනෙහි කරන්නට මෙය අවස්ථාවකි.

මේ වනවිට අනාවරණයව ඇති රංජන් රාමනායක, විවිධ පාර්ශව හා නිරතවන දුරකථන සංවාද ඇතැම් ප්‍රභූ චරිත බියෙන් තැති ගන්වන්නට සමත් වන බවට සැකයක් නැත. මාස ගණන් වළං හෝදන්නට සර්ලාගෙ ගෙවල්වලට එන්නට පුලුවන් යැයි කියන පොලිස් නිලධාරීන්, උසස්වීම් ඉල්ලා නූගත් දේශපාලනඥයින් ඉදිරියේ කුඩා බබුන් මෙන් තොදොල් වෙන නඩුකාර නෝනලාගෙන් සමන්විත සමාජයක ව්‍යුහාත්මක අර්බුදය පිළිබඳ ජනතාව තුළ ජුගුප්සාවක් ඇති කරලන්නට දායක වීම පිළිබඳව නම් රංජන්ට ජාතියේ කෘතවේදීත්වය හිමි විය යුතුමය.  මෙම දුරකථන සංවාද තවමත් විශේෂඥ පරීක්ෂණවලට භාජනය වී නොමැති පසුබිමක ඒවා ගැන විවරණ කරන්නට යෑම අප අනුදත් මාධ්‍ය සදාචාරයට තරම් නොවන මුත් අත්දැකීම් අනුසාරයෙන් උපකල්පනය කළ හැකි වන්නේ ඒවා ව්‍යාජ වීමේ සම්භාවිතාව ඉතා අවම බවයි. මේ සංවාදවලට ඈඳෙන සෙසු පාර්ශව හා කතාබස් කොට ඇති උදවියට තමන් දන්නා අයගේ කටහඬ මෙනෙහි කරන්නට මෙය අවස්ථාවකි.

කෙසේවෙතත් මේ අර්බුදය විග්‍රහ කර ගත යුත්තේ අන්තිමේදී දුමින්ද සිල්වාට ගෙදරට එන්නට පාර කැපීමෙන් නිමා වෙන සෙප්පඩ විජ්ජාවක් ලෙස නොවේ. එක අතකින් එක්සත් ජාතික පක්ෂය අමුතු තාලේ දේශපාලන බෙන් ටෙන්ලා බිහි කරන්නට විලි ලා, වැදුම් ගෙයි සන්නිය හදාගන්නා හාස්‍යජනක ස්වභාවයද පසෙක තිබියදී, ව්‍යුහයේ යටිබිම්ගත බිහිසුණු නිරුවත ගැන සිතමිනි. රංජන් රාමනායක සේම දැනට සිර බත් කන දුමින්ද සිල්වාද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රෞඩ නිපැයුම් ය. අනෙක් පාර්ශවයටද එවැනි අත්දැකීම් තිබෙන බවට සාක්ෂිය අනර්කලී, උපේක්ෂා ස්වර්ණමාලි වැන්නවුන් ය. කිසියම් ක්ෂේත්‍රයක ලාභ ජනප්‍රියතාවක් හිමි වූ පමණින් නාමයෝජනා ලබා දී පාර්ලිමේන්තුවට ගෙන එන්නන් විනාශ කරන්නේ මහජන පරමාධිපත්‍ය බව මේ දේශපාලන පක්ෂ වටහා ගත යුතුය. නමුත් මේ කඩදාසි චරිත එක් යහපත් දෙයක් පසක් කිරීමට දායක වන්නේ දැවැන්ත පක්ෂවලට මුල් කුණුවීමේ රෝගය වැළඳී ඇති බව පෙන්වා දෙමිනි.

මේ දුරකථන සංවාද හෙළිදරව්වෙන් පෙනී යන්නේ රංජන් බාල සිල්ලර සිනමාවට  ගැලපෙන ප්‍රයෝග දේශපාලනයේදී භාවිතා කරන්නට උත්සාහ කොට අත පුච්චාගෙන ඇති අන්දමයි. කුමන හෝ ඇප් එකක් දමාගෙන දුරකථන සංවාද පටිගත වීමට සැළැස්වුවද ඒවා පරීක්ෂා කර තබා ගැනීමට අදාළ දත්ත ආරක්ෂණ ක්‍රමවේද ගැන දැනුමක් ඔහුට තිබී නැත. ක්ලවුඩ් ඩ්‍රයිවයක උඩුගත කොට මුරපදයක් යොදන අන්දම ඔහු නොදන්නවා වෙන්නට ඇත. නිසැකවම ඔහු භාවිතා කරන්නට ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ දුරකථනයකි. ඇප් එක බාහිර යෙදුමකි. එය නොදන්වා පටිගත කිරීමට අදාල නීති වලංගු, පිළිනොගන්නා මෘදුකාංගයක් විය යුතුය. මේ රංජන් අනා ගැනීමට අදාළව සිතිය හැකි දේවල් ය.

එහෙත් වෙනම කෝණයකින් මේ දෙස බලන්නේ නම් කඩුව අතින් ගත් රංජන්ලා වැනි වඳුරන්ගෙන් ප්‍රවේශම් විය යුතු බව සමාජය වටහා ගත යුතුය. ශිෂ්ට සම්පන්න නෛතික රාජ්‍යයන් තුළ නොදන්වා දුරකථන පටිගත කිරීම් සිදු කිරීම සැළකෙන්නේ ආචාරධාර්මික නොවන කාර්යයක් ලෙස ය. එය මාධ්‍යයට පවා අදාල වන අතර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදයේදී නම් පොදු යහපත සළකා එවැන්නක් සිදු කළ හැකි යැයි පිළි ගැනේ. මේ කිසිවක් රංජන් රාමනායක නොදැන සිටින්නට ඇත. නොඑසේනම් ඔහු ඒ වනවිට ආරූඪ ව සිටි ලොක්කන් හා සොක්කන් අතර සම්බන්ධීකරණ භූමිකාව නිසා වෙන කිසිවක් සිතන්නට වුවමනා වෙන්නට නැත.

මේ රංජනියානු හෙළිදරව්වේ පෙරද කී එකම වැදගත්කම ඇතැම් කඩතුරාවන් ඉවත් කරන්නට දායක වීම පමණය. දැන් අහිතකර පල විපාක ගැන කතා කරමු. ආණ්ඩුවට බඩු මිළ ගණන්වල සිට බොහෝ කුස්තුර වසන්නට මෙය බදාමයකි. යහපත් කල් ක්‍රියාවක් තිබූ නිලධාරීන්ද සිය කිරි කළයට රංජන් නමැති ගොම ගොඩෙන් බිංදුවක් දමාගෙන ඇතිනම් දැනටමත් ඔවුන් විනාශ වී හමාරය. රංජන්ගේ අභියෝගයට ලක් වූ සමාජයේ පිළිකුලට භාජනය  විය යුතු අපචාරක භික්ෂූන්ට දිට්ඨ ධම්මවේදය ගැන බණ කියන්නට අවස්ථාව උදා වී ඇත. ඇතැම් විට නිසි පරිදි ඇසූ, ලැබිය යුතු තීන්දුවම ලැබුණු නඩු ආපසු හැරවෙන්නට ඉඩ ඇත. යහපාලනය යන වදනද අපුල දනවන ඔක්කාරමය හැඟීමක් ජනිත කරවන්නට ඉඩ ඇත. ඒ සඳහා වන බලගතු ප්‍රචාරණයේ නිරතවීම දැනටම මහින්දානන්දලා, රෝහිතලා කරට ගෙන ඇත. එහි ප්‍රථිපල පාර්ලිමේන්තු මැතිවරණයේදී බලා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව ලැබේ. අවසානයේ කවුරු කවුරුත් මෙනෙහි කළ යුත්තේ රංජන්ලා යනු ලංකා දේශපාලන සමාජයේ රෙද්ද උනා පෙන්වීමට සමත් මනරංජන්ලා බවය. ඔවුන්ට ලොකු පොලිස්කාරයින්, නඩුකාරයින් හෝ ඕනෑම අයෙකු කුක්කන් කළ හැක. ආණ්ඩුවට මෙය අවියක් වන නමුත් එය දෙපැත්ත කැපෙන්නකි. ඉන් හිර ගෙවල්වල දොරවල් අරින්නට උත්සාහ ගන්නේ නම් ඒ ගැන බොහෝසෙයින් කල්පනා කළ යුතුය.

දෙතනගල සුමනපාල

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *