යුද්දයෙන් බැට කා කුණු වලින් වැසී යන වෙල්ගම් වෙහෙර ජන ජීවිත

ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලය අනුරාධපුර මාර්ගයේ කන්නියා උණු දිය ළිං පරිශ්‍රයට වයඹින් පිහිටා ඇති කසල ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානය ඒ අවට ගම් දෙකක ජන දිවියට බාධා කරමින් බරපතල පරිසර ගැටලු රැසක් ඇති කරන රෝග වාහක මධ්‍යස්තානයක් බවට පත්ව ඇතැයි පරිසර සංවිධාන හා ප්‍රදේශවාසිහු චෝදනා කරති.

කන්නියා පීලියඩි හා වෙල්ගම් වෙහෙර ප්‍රදේශයේ ජනයා මෙන්ම වන අලින්ද වන සතුන්ද පීඩාවට පත් කරමින් මෙකී පාරිසරික හානිය සිදුවන බව එම ප්‍රදේශයේ ජනයා නගන චෝදනාවයි.

අනුෂා ප්‍රියානි පීරිස්

“කොටි ගහද්දි ගම දාලා ගිහින් අනාථ කදවුරු වල හිටියා යුද්දය ඉවර වුණාට පස්සෙ 2010 අපි නැවත පදිංචියට ආවා ඉස්සර මෙතැන කුණු වලක් තිබුණෙ නැහැ අපි කුඹුරු කලා ලිදේ වතුර බොන්න ගත්තෙ ඒ කාලේ මේ කැලේ අලිත් හිටියා කකුල් දෙකේ කොටිත් හිටියා අපි පදිංචියට ආයේ එනකොට මේ කැලේ ශුද්ධ කරලා කුණු ප්‍රතිචක්‍රීය කරණය කරන්න කියලා මධ්‍යස්ථානයක් හදලා තිබුණා නමුත් කුණු ලොරි එනවා පාරේ හලනවා යනවා ඈතට යන්න කම්මැලි කමට ඒ නිසා අලි පුරුදු වුණා කුණු කන්න කුණු ප්‍රතිචක්‍රීය කරණය වෙන්නෙ නැහැ යකඩ ටික විකුණ ගන්නා යකඩ වෙන් කර ගන්නවා ප්ලාස්ටික් විකුණ ගන්න ඒවා වෙන් කර ගන්නවා ආණ්ඩුව ප්‍රතිචක්‍රීය කරණ මධ්‍යස්ථානය හැදුවට ඒක වතුර පිරිලා කුණු වලින්ම වැහිලා ගියා දැන් ලිං වතුර බොන් බැහැ වතුර කලු පාටයි. ගෙවල් වල ඉන්න බැහැ මැස්සො පිරිලා කුණු වල නිසා අවසානයේ අපිට ජීවත් වෙන්න විදිහක් නැති වුණා. මැස්සොයි, මදුරුවොයි ගඳයි, කුණු පුච්චන දුමයි විතරයි ගමට ඉතිරි වුණේ යැයි කුණු වල ආසන්නයේ පදිංචිකාරිය වන වයි. අනුෂා ප්‍රියානි පීරිස් මහත්මිය පැවැසුවාය.

අක්කර 32 ක් පුරා පැතිර පවතින මෙම කසල අංගනයට මීටර් 600 ක් පමණ දුරකින් එක් ‍පසෙකට වන්නට සංචාරක ආකර්ශණ දිනා ඇති කන්නියා උණු දිය ළිං පද්ධතිය පිහිටා තිබේ. කිලෝ මීටරයක් පමණ දුරින් අනෙක් පසින් විල්ගම්මුල විද්‍යාලය පිහිටා ඇත. ත්‍රිකුණාමලය නගර සභාව හා නගර හා කඩවත් ප්‍රාදේශීය සභාව විසින් අක්‍රමවත්ව කසල බැහැර කිරිම නිසා මෙම තත්වය පැන නැගි ඇති බව පරිසර සංවිධාන නගන තවත් චෝදනාවකි. 

කසල අංගණය ඉදි කිරිමට පෙර අවට ගැමියන්ට හා පරිසර පද්ධතියට ඉන් සිදුවන පීඩාව පිළිබදව තක්සේරු කර අදාල ආයතන් තුලින් විධිමත් අවසරයන් ගත යුතුය. 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරණ ජාතික පාරිසරික පනත ප්‍රාකාරව පරිසර ඇගයීම් වාර්ථාවක් හෝ ලබා නොගෙන මෙය ස්ථාපිත කර ඇති බව පලාත් පාලන ආයතන තුලින් විමසු විට ඔවුන් ඒ බව නොදන්නවා යැයි පැවැසීමෙන් පෙනි යයි.

මේ නිසා වන අලින් ගම් වැදීමත් මදුරු මැසි ගහණය ඉහල ගොස් විවිධ රෝගාබාධ ඇතිවිම තමන් මුහුණ දෙන ගැටලු බැව් ප්‍රදේශවාසිහු පවසති. දිය උල්පත් හා ඇළ මාර්ග ගණනාවක් තිබු වලස් වැව ඇතුළු කුඩා වැව් කිහිපයකට ජලය ගලා යන ප්‍රදේශයක මෙවන් කසල අංගණයක් ස්ථාපිත කිරිම නොමනා ක්‍රියාවක් බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

මේ පිළිබදව අදහස් දැක්වු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පුරවැසි හඬ සංවිධානයේ සභාපති ප්‍රියන්ත මලවැන්නගොඩ මහතා ත්‍රිකුණාමලය නගරය තුල එකතු වන කැලි කසල මට්ටිකෙලිය කළපුවට අක්‍රමවත් අයුරින් මුදා හරිමින් තිබුණා පසුව ඒක එතැනින් ඉවත් කර සාම්බල්තීව් කළපු ප්‍රදේශයට මුදා හැරියා එතැනින් මතුවු විරෝධය නිසා තමයි කන්නියා වෙල්ගම් වෙහෙර ප්‍රදේශයේ පිහිටි මේ කසල අංගණයට ගෙන එන්නේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරනය හා ප්‍රතිචක්‍රීය කරණය කරන්න කියලා තමයි මුලින්ම මෙහි අංගණයක් ස්ථාපිත කරන්නේ

ප්‍රියන්ත මලවැන්නගොඩ

නමුත් දැන් ඒ දෙකම වෙන්නෙ නැහැ කළමණාකරණයත් නැහැ ප්‍රතිචක්‍රීයකරණයත් නැහැ ඒ දෙකම කසල අංගණයට ඇතුළුවන තැන තියෙන නාම පුවරුවට පමණක් සීමා වෙලා කසල අංගණය ඌරු කොටුවක් වෙලා සිදුවන එකම දේ අක්‍රමවත්ව බැහැර කරන කසල අක්කර 32 ක බිමක් පුරා විසිරිලා තියෙනවා මෙහෙම එකතු වෙන කසල දිනපතා පුළුස්සමින් විශාල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ඇතුළු විෂදුමක් පරිසරයට එකතු කිරිමට මේ අය කටයුතු කරනවා කසල පිලිස්සීම නිසා ඇතිවන කලු දුමාරය කිලෝ මීටර ගණනාවක් ඈතට පේනවා නමුත් බලධාරින් මේ ගැන මුනිවත රකිනවා යැයි පැවැසීය.

දිනකට මුදා හරින කසල ප්‍රමාණය ගණනය කල නොහැකි වුවත් එක් දිනකට කසල රැගෙන එන ට්‍රැක්ටර් ප්‍රමාණය 40 ක් බව ප්‍රදේශවාසිහු පෙන්වා දෙයි. “නගර සභාවේ ට්‍රැක්ටර් 12 ක් ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් 12 ක් නාවික හමුදාවේ හා ප්‍රීමා සමාගමේ මෙන්ම තවත් පුද්ගලික ආයතන වල කුණුත් ගේ‍න්නේ මේ ස්ථානයට නම ගහලා තියෙනවා ඝණ අපද්‍රව්‍ය කළමණාකාරන හා ප්‍රතිචක්‍රීයකරණය කරන අංගණය කියලා ඒ වුණාට සේරම කුණු නිකං දාලා දවස් දෙකකට සැරයක් ගිනි තියනවා අධික දුමක් පිටවෙනවා හුස්ම ගන්න බැහැ පුදුම ගදක් තියෙන්නේ කළු දුමාරය නිසා රෙද්දක් වේල ගන්න බැහැ රෑටත් ගිනි ගන්නවා මදුරුවෝ පිරිලා දවල්ට මැස්සො අපි අවුරුදු තිහක් යුද්ධයෙන් බැට කෑ මිනිස්සු යලි පදිංචි වුණා නමුත් කුණු ප්‍රශ්ණයෙන් පීඩා විදිනවා කුණු කන්න යන වන අලි අලි වැට කඩලා තියෙන්නේ බලධාරින්ට කිව්වා උද්ඝෝෂණ කලා ලිපි ලිව්වා කිසිම කෙනෙක් සත පහකට ගණන් ගන්නෙ නැහැයි” වෙල්ගම් වෙහෙර ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන ඩබ්ලියු. එච්. එම්. පද්මිනි මහත්මිය පවසයි.

එච්. එම්. පද්මිණි

කසල අංගණයට අයත් බිමේ පිහිටි ඇල මාර්ග හා අභ්‍යන්තර මාර්ග හරහාද අවිධිමත් ලෙස කසල බැහැර කර ඇති බව එහි යන එන අයට පෙනි යයි අංගනය පිහිටි අක්කර 32 ක බිම පුරා ගොඩ ගැසි ඇති කසල කදු එහි සේවකයන් විසින් දෛනිකව ගිනිතැබිම සිදුකරන අතර ඉන් විශාල දුමාරයක් පිටවෙනු දැකිය හැකිය. ඝණ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානය ලෙස පුවරුවක් ගසා තිබුණද ප්‍රතිචක්‍රීය කරණ ක්‍රියාවලියක් ඉන් සිදුවන බවක් නම් නොපෙනේ පොලිතින් සමග කසල බුදින වන අලි විශාල රංචුවක් එහි යන එන අයට දැකිය හැකිවේ.

ත්‍රිකුණාමලය නගරයෙන් බැහැර කරන සියලු කසල මෙම ස්ථානයට බැහැර කර ප්‍රතිචක්‍රීය කරණය හා කළමණාකරනය කිරිම සදහා සුදුසු පරිදි සිමෙන්තියෙන් නිර්මිත බහාලුම් සහිත අංගනයක් ස්ථාපිත කලද එකි ගොඩනැගිලි කුණු කදු වලින් වැසි ගොස් තිබෙනු දක්නට ඇත. පොලිතීන් හා ප්ලාස්ටික් දහනය විමෙන් හට ගන්නා විෂ වායුව පරිසරයට හා අවට මිනිසුන්ටද වින කරමින් පරිසරයට එක්වේ. 

අරුණ් හේමචන්ද්‍ර

“කසල ප්‍රතිචක්‍රීය කරණය සදහා මිට පෙර සකස් කසල අංගණය වැහෙන්න කුණු දාලා ඒක වහින කාලෙට වතුර පිරෙන මාළු ටැංකි වගේ කුණු වල මැද උල්පත ලිදක් කරලා බැදලා තියෙනවා කසල අංගණය වටා අලි වැටක් නැහැ නිශ්චිත මායිමක් නැහැ. වතුර බොන්නයි කුණු කන්නයි එන අලි ගම් වදිනවා කුණු වලින් පිරුණ මේ අක්කර 32 ක ඇතුලේ වන අලි 42 ක් දිනපතා කුණු කමින් ඉන්නවා අලින්ගේ වසුරු වල පොලිතීන් අලින්ට කුණු කන්න ඉඩ නොදි මේ අලි ටික රැක ගන්න වන ජිවියට වුවමනාවක් නැහැ පලාත් පාලන ආයතන දෙකට වුවමනාවක් නැහැ මේ පරිසර හානිය අවම කර ගන්න බලධාරින්ට වුවමනාවක් නැහැ කසල ප්‍රතිචක්‍රීය කරණය කරලා මිනිස්සුන්ගේ ගැටලුවලට විසදුමක් දෙන්න” යැයි නැගෙනහිර ජනතා හඩ සංවිධානයේ කැඳවුම්කරු අරුණ් හේමචන්ද්‍ර මහතා පැවැසීය. 

නාගරාසා රාසනායගම්

එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් ත්‍රිකුණාමලය නගර සභාවේ සභාපති නාගරාසා රාසනායගම් මහතා කියා සිටියේ ජනතාව කියන කතා ඇත්ත අලි කුණු කන්න පිරිලා අපේ කුණු ගෙන යන්නෙත් එතැනට නමුත් නගරයෙන් ඉවත් කරන සියලු කසල ප්‍රතිචක්‍රීයකරණය කර ඉන් විදුලිය නිපදවිමේ සැලසුමක් තිබුණද විදුලි ඒකකයක් රුපියල් 32 කට මිළදි ගන්නවා කියලා ආණ්ඩුව මුලින් කියලා පස්සෙ කිව්වා රුපියල් 22 කට ගන්නෙ කියලා විදුලිය නිපදවලා ‍ඒ ගානට දෙන එක පාඩු නිසා කසල ප්‍රතිචක්‍රීය කරණය කරන්න භාර ගත් පුද්ගලික ආයතනය පැත්තෙන් ඒ දේ වෙන්නෙ නැහැ නමුත් කසල කළමණාකරණයක් නම් එතැන වෙනවා යැයි පැවැසීය. 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.