යුගදනවි ගිවිසුමෙන් විදුලිය මිළ අඩු වෙනවා – ඇමති ජොන්ස්ටන්

යුගදනවි ගිවිසුම මගින් මෙරට විදුලි ඒකකයක මිල පැහැදිලි ලෙසම අඩුවෙන බව පැහැදිලිව දක්වා තිබියදී පීඩිත පන්තිය ගැන කතා කරන අනුර කුමාර දිසානායක මහතා එයට විරුද්ධ වීම පුදුමයක් බව මහමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ආසියාවේ විදුලි ඒකකයක් සඳහා වැඩිම අය කිරීමක් කරන්නේ මෙරට බවත් මෙය 50% කින් පමණ පහතට ගෙන ඒම ජනතාවට මෙන්ම කර්මාන්ත කරුවන්ටද වාසියක් බවත් ඒ මහතා කීය.

මහනුවර අර්ල්ස් රිජන්සි හෝටලයේදී ඊයේ (19) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වසංගත තත්ත්වය,කම්කරු හිඟය, බරපතළ අමුද්‍රව්‍ය හිඟය මධ්‍යයේ වුවද බලාපොරොත්තු ඉලක්ක සපුරා ග්‍රාමීය පාලම් 200 ක් මෙන්ම ග්‍රාමීය  මාර්ග කිලෝමීටර් 5000 ක් පමණ සංවර්ධනය කිරීමට ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ගත් ක්‍රියමාර්ග සඳහා රාජ්‍ය ආයතන, කොන්ත්‍රාත්කරුවන්, විශ්වවිද්‍යාල මගින් ලබා දුන් සහාය අගය කරමින් ඔවුන්ට උපහාර පිදීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි. 

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් ඇමැතිවරු පිරිසක් අධිකරණයට ගොස් තබෙන බවත් ඔවුන් එසේ කළේ පක්ෂ නායකයින්ද ලෙසද නැත්නම් ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු ලෙසද යන්න පැහැදිලි නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

ඩොලර් මිලියන 6.7 ක ප්‍රශ්නයක් මත චීනය තරහා කර ගන්නවාද නැන්තනම් එම මුදල ගෙව ගිවිසුම් ගත ක්‍රමවේදය අනුව ප්‍රශ්නය නිත්‍යානුකූලව විසඳාගන්නවාද කියන ගැටලුව පැමිණි අවස්ථාවේ රජය චීනය සමඟ ඇති මිත්‍රත්ත්වය ආරක්ෂා කර ගැනීම වැදගත් ලෙස සලකා කටයුතු කළේ යැයිද ඇමැතිවරයා පැවසුවේය.

අසූචි නැවකට මුදල් ගෙවූ බව කියමින් විවේචන ඉදිරිපත් කිරීම පහසු බවත් ප්‍රබල රටක් අමනාප කර ගැනීම ඊට වඩා අවාසි බව අප තේරුම් ගත යුතුව තිබෙන බවත් කී ඒ මහතා අපට අවශ්‍යයම මොහොතක ඩොලර් බිලියන 1.5 ක් ලබා දුන්නේ චීනය බවද ප්‍රකාශ කළේය.

මේ අනුව ඩොලර් මිලියන 6.7 ක් ගෙවන්න කැබිනට් එක තීරණය කළ බවත් එය නොගෙව්වොත් ඊට වඩා විශාල පාඩුවක් රටක් ලෙස අපට සිදුවන බවත් ප්‍රනාන්දු මහතා කීය.

පසුගිය වසරේදීත් අපට ණය ගෙවා ගන්න නොහැකි වේයැයි ඇතමුන් ප්‍රකාශ කළත් අදාළ ගෙවීම් ගැටලුවකින් තොරව සිදුකළ බවත් මෙවරද එම චෝදනාවම එම පිරිස ඉදිරිපත් කළත් අභියෝග හමුවේ වුවද පෙර සේම අදාළ මුදල් ගෙවීම් කරන බවත් ඒ මහතා පැවසුවේය.

විපක්ෂය ප්‍රාර්ථනා කරන ආකාරයට මේ රට බංකොලොත් වීමට ආණ්ඩුව කිසිසේත් ඉඩ නොතබන බවද හෙතෙම කීය.

කෝප් කමිටුව මගින් මේවන විට හෙළිදරව් කරමින් සිටින්නේ පසුගිය ආණ්ඩුවේ වංචා හා දූෂණ බවත් පාර්ලිමේන්තුව කල්දමා ඒවා යටපත් කිරීමට ආණ්ඩුවට කිසිදු වුවමනායක් නොමැති බවත් කී ඒ මහතා විපක්ෂය අද පදනම් විරහිතව ප්‍රකාශ නිකුත් කරන බවද අවධාරණය කළේය.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතාද මෙහිදී කතා කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.