යතුරු පැදි අලෙවිසැල් වසා දැමීමේ සූදානමක්.

යතුරු පැදි ආනයනය අත්හිටුවීම හේතුවෙන් එම ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර ප්‍රතිලාභීන් ලක්ෂ පහකට  ආසන්න පිරිසක් දැඩි අසීරුතාවකට පත්ව සිටින බැවින් කුමන හෝ කොන්දේසියක් යටතේ යතුරු පැදි ආනයනයට අවසර ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව  මධ්‍යම හා උතුරු මැද පළාත් නව යතුරුපැදි අළෙවි කරුවන්ගේ සංගමයේ උප සභාපති දහම් උනන්තැන්න මහතා පවසයි. ත්‍රස්තවාදයෙන් මෙන්ම කොවිඩ්-19 වසංගතයෙන් රට බේරාගත් නායකයෙකු අද ජනපති ධූරයට පත්ව තිබෙන බවත් එතුමාගේ අවධානය මෙම ගැටලුව කෙරෙහි යොමුවනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීය.

මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටි රෝයල් මෝල් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී උනන්තැන්න මහතා මේබව ප්‍රකාශ කළේය. වාර්ෂිකව නව යතුරු පැදි ලක්ෂ තුනක් මෙරට අළෙවි වන බවත් උතුරු මැද හා මධ්‍යම පළාත් දෙකේ පමණක් වසරකට අළෙවි වන නව යතුරු පැදි සංඛ්‍යාව 60000 ක් බවත් කී ඒ මහතා යතුරු පැදි ආනයනය තහනම් කිරීමත් සමඟ නව යතුරු පැදි හිඟයක් රටේ ඇතිව තිබෙන බවද අවධාරණය කළේය.

නව යතුරු පැදි අළෙවිකරුවන් වසරකට රුපියල් බිලියන 40 ක මුදලක් බදු ලෙස රජයට ගෙවන බවත් වසරකට සාමාන්‍යයෙන් බිලියන 122 ක ක පමණ මුදලක් මෙම ක්ෂේත්‍රය තුළ සංසරණය වන බවත් හෙතෙම අවධාරණය කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ රටේ ඇතිවූ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ එක් පියවරක් ලෙස ආනයන සීමාකර රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා රජය ගත් පියවර යටතේ යතුරු පැදි ආනයනයද අත්හිටුවූ බවත් මාස හයක ණය සහන යටතේ යතුරු පැදි ලබාදීමට නිෂ්පාදන සමාගම් කැමැත්ත පළකර තිබෙන බවත් කී උනන්තැන්න මහතා මේ තත්ත්වය තුළ යතුරු පැදි ආනයනයට අවසර ලබා දීමෙන් රජයේ ආර්ථික වැඩපිළිවෙළට කිසිදු බාධාවක් නොවන බවද අවධාරණය කළේය. මෙරට අළෙවි කිරීම සඳහා යතුරු පැදි ඇත්තේ තවත් මාස තුනකට පමණක් බවත් ඉන් පසු නව යතුරු පැදි ප්‍රදර්ශනාගාර වසා දැමීමට සිදුවන බවත් හෙතෙම අවධාරණය කළේය.

යතුරු පැදි මෙරටට ගොඩබෑමට ආනයනය සඳහා  අවසර ලබාදෙන දිනයේ සිට මාස තුනක කාලයක් ගතවන බවත් මේ නිසා ජනපතිතුමන්ගේ අවධානය මෙම ගැටලුව කෙරෙහි දැන්ම යොමුවීම වැදගත් බවත් ඒ මහතා කීය. රට තුළ නිර්මාණය වී තිබෙන නව යතුරු පැදි හිඟය නිසා දෙවන පෙළ යතුරු පැදි වල මිල රුපියල් පනස් දහසේ සිට ලක්ෂය දක්වා මුදලකින් ඉහළ ගොස් තිබෙන බවත් කී උප සභාපතිවරයා යතුරු පැදි අමතර කොටස් වල බරපතල හිඟයක්ද රටේ පවතින්නේ යැයි අවධාරණය කළේය. මෙහිදී මධ්‍යම හා උතුරු මැද නව යතුරු පැදි අළෙවිකරුවන්ගේ සංගමයේ සභාපති නලීන් ප්‍රේමානන්ද,එහි සාමාජික ගයාන් කරුණාතිලක යන මහත්වරුද කතා කළහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *