මේ තමයි ඡන්දයට නියම වේලාව – එ.ජා.ප අපේක්ෂක චන්ද්‍රපාල විරසූරිය
කොරෝනා ව්‍යාප්තිය යහපත් ලෙස පාලනයකර තිබෙන බැවින් මහ මැතිවරණය පැවැත්වීමට සුදුසුම අවස්ථාව මෙය බව එක්සත් ජාතික පක්ෂ ගලගෙදර ආසන සංවිධායක,මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක,නීතීඥ චන්ද්‍රපාල වීරසූරිය මහතා පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතා පරමාධිපත්‍ය බලය තහවුරු වන්නේ මැතිවරණය ඔස්සේ බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවේ තමන් කැමැති ආණ්ඩුවක් පත්කර ගැනීමේ අවස්ථාව කඩිනමින් ජනතාවට ලබාදිය යුතු බවත් ඒ මහතා කීය.
මහනුවර විලියම්ගොපල්ලව මාවතේ ගැටඹේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී වීරසූරිය මහතා මේ බව පැවසුවේය. කොරෝනා නිසා එකාපිට එකා මැරී වැටෙන තත්ත්වයක් රටේ නොමැති බවත් මේ වන විට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි මෙහි පැතිරයාම සාර්ථකව පාලනය කර තිබෙන බවත් කී ඒ මහතා පවතින පසුබිම තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බවද අවධාරණය කළේය. ජනපති ප්‍රමුඛ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාර්ථකව කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයකර තිබෙන බවත් දේශපාලන භේදයෙන් තොරව එය අගය කළ යුතු බවත් ඒ මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය වටා පසුගිය කාලයේ අන්තවාදයට සහය දුන් අවස්ථාවදී දේශපාලන කණ්ඩායම් එක්ව සිටි බවත් අද ඔවුන් සියලු දෙනා සමඟි ජනබලවේගය හා එක්ව සිටින බවත් වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.
අන්තවාදී අදහස් දරන එම කණ්ඩායම් තමන්ගේ අවස්ථාවාදී භාවය යළිත් ප්‍රදර්ශනයකර තිබෙන බවත් ඔවුන්ගේ නික්ම යෑමෙන් එජාපය අද පිරිසිදුවී තිබෙන බවත් හෙතෙම පැවසුවේය. එක්සත් ජාතික පක්ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයින් පිරිසක් පක්ෂය හැර ගොස් වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට තරඟ කිරීමට හේතුව ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නොව පෞද්ගලික ප්‍රශ්නයක් බවත් පෞද්ගලික ප්‍රශ්න නිසා මේ ආකාරයට පක්ෂයකට එරෙහිවීම අනුමත කළ නොහැකි බවත් ඒ මහතා කීය. ඔවුන්ට පක්ෂය අතහැර යන ලෙස එජාප නායකත්වය කිසිදු අවස්ථාවක දැනුම් නොදුන් බවත් ඔවුන්ම අදාළ තීරණය ගෙන අද එජාපයට විරුද්ධව හඬ නැගීම කනගාටුවට කරුණක් බවත් වීරසූරිය මහතා පැවසීය.
ජනපති පාර්ලිමේන්තුව විසුරුවාහැර තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුකූලව බවත් විසුරුවාහැර තිබෙන පාර්ලිමේන්තුවක් යළි සජීවි කිරීමට හැකියාව ඇත්තේ හදිසි අවස්ථාවකදී පමණක් බවත් කී ඒ මහතා මේ මොහොතේ එවැනි අවශ්‍යතාවක් පැන නැගී නොමැති බවද අවධාරණය කළේය.