‘‘මේ කඳුළු නුඹ වෙනුවෙන් නොවෙයි‘‘ – ක්‍රයිස්ට් චර්ච් ඝාතකයා දිවි ඇති තෙක් සිරගෙට

 ‘‘මේ කඳුළු නුඹ වෙනුවෙන් නොවෙයි‘‘ – ක්‍රයිස්ට් චර්ච් ඝාතකයා දිවි ඇති තෙක් සිරගෙට

‘‘මේ කඳුළු නුඹ වෙනුවෙන් නොවෙයි‘‘ – ක්‍රයිස්ට් චර්ච් ඝාතකයා දිවි ඇති තෙක් සිරගෙට

පුරා දින 4 ක් තිස්සේ ඇසෙන, නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් සංහාරයට වගකිව යුතු ඝාතකයා පිළිබඳ නඩු තීන්දුව අද උදෑසන ලබාදුන් අතර මේ අධිකරණයේදී දිගහැරුණු ශෝකයේත් කෝපයේත් කතාන්දරවල එකතුවකි.

අධිකරණ ශාලාව පිරී ගොස් තිබෙන්නේ කෝපයෙන් වියරු වැටුණු වින්දිතයන්ගෙනි. ඔවුන්, 2019 වසරේදී නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් සංහාරයට බිලිවූවන්ගේ ඥාතීන් ය. හිතමිතුරන් ය. බ්‍රෙන්ටන් ටැරන්ට් නමැති තුවක්කුකරු ඔවුන් ඉදිරියේ සිටියි. ජීවිත කාලයක් විඳවා ගත යුතු – ප්‍රියයන් අහිමි වීමේ මහා වේදනාව ඝාතකයාගේ මුහුණටම මුදාහරින්නට ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය හැකිය. එතෙක් ඔවුන්ගේ සිත්වලට සංහිඳියාවක් නැත. එය ඔවුන්ගේ ශෝක වීමේත්, කෝප වීමේත් අයිතියයි.

ඝාතනයට ලක් වූ 51 දෙනා වෙනුවෙන් 90 දෙනෙක් පමණ කතා කළහ.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ පල්ලි දෙකකට ඝාතකයා උමතු වෙඩි පහර එල්ල කළේය. ඔහු තෙවන ප්‍රහාරයක් ද සැලසුම් කර තිබු බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

මේ 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයා මිනීමැරුම් චෝදනා 51කටද, ඝාතන උත්සායන් 40කට ද, එක් ත්‍රස්තවාදී චෝදනාවකට ද ලක්ව සිටියි.

අධිකරණ ශාලාව කඳුළින්ද විලාපයෙන්ද වැසී යයි. කුරානයේ පාඨ කියනු ඇසේ. ඔවුහු තමන් මේ ලෝකයේ වඩාත්ම ආදරය කළ අයගේ ඡායාරූප අත දරා සිටිති. ඒවා චූදිතයාට පෙනෙන්නට ඔසවාගෙන සිටිති. අධිකරණය ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගනියි.

‘‘මේ කඳුළු නුඹ වෙනුවෙන් නෙවෙයි..‘‘

එසේ කියූ සාරා ක්වාසම්ගේ පියා මිය ගියේ අල් නූර් පල්ලියේදී චූදිතයාගේ වෙඩි පහරට ගොදුරු වීමෙනි.

‘‘මගෙ නම සාරා ක්වාසම්. දිදුළමින් සිටි මිනිසෙකුගේ – අබ්දෙල්ෆටා ක්වාසම්ගේ දියණිය.. ඒ නම මතක තියා ගන්න..‘‘ යැයි 24 හැවිරිදි සාරා කීවාය.

සිය පියාගේ ජීවිතයේ අවසන් නිමේෂයන් කිහිපය ගැන මතකය අවදි කළාය. ‘‘ඔහුට රිදෙන්න ඇති.. ඔහු බය වෙන්න ඇති.. ඔහු අන්තිමට මොනව හිතන්න ඇතිද…? මේ ලෝකෙ හැම දේටමත් වඩා මම ප්‍රාර්ථනා කරන්නෙ ඒ වෙලාවෙ ඔහුගෙ අත අල්ලගෙන හැම දෙයක්ම හරි යයි කියල ඔහුට කියන්න මට තිබුණ නම් කියලයි.. ඒත් මට ඒක කරන්න බැරි වුණා…‘‘

පියා සමග විනෝද ගමන් යන්නට සිතා සිටි බවත්, ඒ විනෝදගමන්වලදී පියා පිසින කෑමවල සුවඳ තමන්ට දැනෙන්නා සේ බවත් ඇය තවදුරටත් කීවාය.

ඉන්පසු මොහොතකට නතර වූවාය. හඬන්නට පටන් ගත්තාය. ටැරන්ට් දෙස බලා මෙසේ කීවාය.

‘‘මේ කඳුළු නුඹ වෙනුවෙන් නෙවෙයි..!‘‘

‘‘මට හිතෙන්නෙ නුඹයි මෙතන වින්දිතයා.. අපි බේරුණු අය…!‘‘

දෙනෙත් පියා ගැනීමට පෙර දින 48 ක් තුවාළ සමග පොර බැදූ හමියා තුයාන්ගේ බිරිඳ සෙකාරියා තුයාන් ය. සිය අහිමි වීම ගැන ඇය පැවසුවේ මෙවදන් ය.

‘‘මගෙ පුතාලගෙ තාත්තව ආපහු ගේන්න සල්ලි කොයි තරම් තිබුණත් බැහැ.. මට ඔහුව මතක් වෙනවා. ඔහු කෑම පිසූ හැටි.. ඔහුගෙ විහිළු තහළු.. ඔහු තමයි මගෙ ශරීරාරක්ෂකයා වුණේ. මාව විනෝදයෙන් තැබූ කෙනා වුණේ.. මාව සුව පහසුවෙන් තැබූ කෙනා වුණේ.. ඒ වගේම මගෙ හොඳම මිතුරාත් ඔහු…‘‘

‘‘මගෙ ලොකු පුතාට තාත්තා ගැන අවුරුදු පහක මතකයන් තිබෙනවා. මගෙ පුතා අහනවා ‘‘ ඇයි ඔහු මගෙ බාබව මැරුවෙ කියලා..මම ඔහුට කිව්වා තාත්තව මරපු කෙනා හරියට පෙර පාසලේ අනික් ළමයි එක්ක සෙල්ලම් කරන්න දන්නෙ නැති නිසා ඒ ළමයින්ට ගහන ළමයෙක් වගේ කියලා..‘‘

‘‘අනෙක් දරුවො තාත්තලත් එක්ක ඉන්නැද්දි මගෙ පුතාගෙ ඇස්වල තියෙන පාළුව මට පේනවා…‘‘

‘‘ඒත් නුඹේ නිහීන ක්‍රියාවන නිසා දහස් ගණන් නවසීලන්ත ජාතිකයන් අපිත් එක්ක සහයෝගයෙන් එකතු වුණා..

‘‘මට හිතෙන්නෙ නුඹයි මෙතන වින්දිතයා.. අපි බේරුණු අය…!‘‘

‘‘නුඹ කුණු කූඩයක්..!‘‘

අල් නූර් පල්ලියේදී අහාද් නබී හට සිය වියපත් පියා සදහටම අහිමි විය. නිව්සීලන්ඩ් වොරියර්ස් රගර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන අහමද්, සිය පිටාර ගලන කෝපය වසං කිරීමට උත්සාහ කළේ නැත.

‘‘නුඹ ඉහඳ පණුවෙක්..‘‘ යැයි පැවසූ ඔහු, ‘‘නුඹේ පියා කුණු එකතු කරන කෙනෙක්, නුඹ සමාජයේ කුණු කූඩයක් බවට පත් වුණා.. නුඹව කුණුගොඩක වළදාන්න ඕනෙ..‘‘ යැයි මහ හඩින් කෑ ගැසුවේය.

GETTY IMAGESඅහබ් දබි

ඉන්පසු ඔහු විනිසුරුගෙන් ආයාචනාවක් කළේ, මේ තැනැත්තාට කිසි දිනෙක සිපිරිගෙයින් පණ පිටින් එළියට එන්න තබන්න එපා යනුවෙනි.

‘‘ඔවුන්ගේ එකම අපරාධය මුස්ලිම් වී ඉපදීමද?‘‘

මයිසූන් සලාමා, මුහමද් අතා එලායාන්ගේ මව ය. සිය පුතුගේ ජීවිතයේ අවසන් මොහොත ගැන ඇය හැඬු කඳුළින් සිහිපත් කළාය.එහිදී ඇගේ පවුලේ ඥාතීන්ට සහ හිතමිතුරන්ට ඇයව වරින් වර වත්තම් කර ගැනීමට ද සිදුවිය.

‘‘අම්මා කෙනෙක් විදිහට මගෙ හදවත මිලියන වාරයක් බිඳී ගිහින්.. දරු ප්‍රසූතියේ වේදනාවට සමාන වේදනාවක් මට නැවත නැවතත් දැනෙනවා…‘‘

‘‘මගෙ ආදරණීය ආටාට ඒ වේදනාව කොහොම දැනෙන්න ඇතිද කියල මට හැම තිස්සෙම හිතෙනවා..‘‘

‘‘ඔහු කොහොමද වෙඩික්කරුවට මුහුණ දුන්නෙ.. මේ ජීවිතයේ මේක අවසානය කියල තේරුම් ගත්තාම ඔහුගෙ හිතේ මොනව තියෙන්න ඇතිද? නුඹ අහිංසක මිනිසුන් 51 දෙනෙකුගෙ ආත්ම බිල්ලට ගත්තා..

‘‘ඔවුන් කරපු එකම අපරාධය මුස්ලිම් ජාතිකයන් වී ඉපදීම…!‘‘

‘‘නුඹ පරාදයි… නුඹ අපිව ශක්තිමත් කළා…‘‘

කිහිප වරක් වෙඩි වැදෙන විට වසීම් සාති අලි දරාග්, අල් නූර් පල්ලියේ සිටියේ සිය දියණිය සමග ය. ඔහු  එක එල්ලේම චූදිතයාගේ මුහුණ දෙස බලා කතා කරන්නට පටන් ගත්තේය.

‘‘සුබ සන්ධ්‍යාවක් හැමෝටම.. නුඹට හැර…‘‘ ඔහු කීවේය. ‘‘හරියට තුවක්කුවක් පාවිච්චි කරන්න නුඹ දන්නෙ නැති නිසා අද අපි මෙතන ඉතිරි වුණා..‘‘

GETTY IMAGESWasseim Daragmih

 

මෙය අසා ඝාතකයා මහ හඬින් සිනාසුණු අතර, ඉන්පසු වහාම සිය  මුව වසා ගත්තේය.

ඉන් අනතුරුව දරාග්මියාගේ වදන් බරපතළ ස්වභාවයක් ගත්තේය. ‘‘නුඹ අපේ ප්‍රජාව විනාශ කරන්න අසමත් වුණා..‘‘ යැයි ඔහු කීවේය.

‘‘නුඹ හිතනව නම් නුඹ කරපු දේවල් නිසා අපේ ප්‍රජාව විනාශ වෙලා අපේ විශ්වාසය දෙදරල ගියා කියලා, නුඹ අසාර්ථකයි. නුඹ අපිව එකමුතු කළා. එක අරමුණකින් එක තැනකට එකතු කළා..‘ යැයි ඔහු පැවසුවේය.

* * *

මේ සියල්ල අතරතුර ඝාතකයා කිසිවක්ම කීවේ නැත.

ඔහු මොනවා කියන්නද? නීතියට හසු නොවුණත් හෘද සාක්ෂියේ අධිකරණයෙන් ඔහු මරණයට නියම වී සිටියි. මරණ දණ්ඩනය නවසීලන්තයේ තහනම් කර ඇති නිසා පමණක් සිය ඉතිරි ජීවිත කාලය ගත කරනු ඇත්තේ සිපිරි ගෙයි ය.

මේ අතර එක් කාන්තාවක් මෙසේ කීවාය. ‘‘කවදහරි මම ඔහුට සමාව දෙනවා… නමුත් අද නෙවෙයි..‘‘

* * *

ක්‍රයිස්ට් චර්ච් ඝාතකයාගේ තීන්දුව නවසීලන්ත වේලාවෙන් අද උදෑසන ලබාදුන් අතර, එහිදී ඔහුව දිවි ඇති තෙක් කිසිදු සමාව ලබාදීමකින් තොරව සිපිරිගෙට නියම කෙරිණි.

-රදිකා ගුණරත්න – අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com/

 

Update : ක්‍රයිස්ට් චර්ච් ඝාතකයා දිවි ඇති තෙක් සිපිරි ගෙට – යුක්තිය ඉටු වුණා පමණක් නොව ඒ බව පෙනෙන්නට ද තිබුණේය!

යුක්තිය ඉටුවනවා පමණක් නොව ඒ බව පෙනෙන්නට ද තිබිය යුතුය යන්න ලොව පිළිගත් ස්වභාවික යුක්ති මූලධර්මයකි. දියුණු අධිකරණ පද්ධතියක් ඇති නවසීලන්තය මෙය අකුරටම කළේය. මහා වෙඩි තැබීම් දෙක සිදුකර වසරක් ඇතුළත ඝාතකයා සියලු චෝදනා සම්බන්ධයෙන් වරදකරු කෙරිණි.

2019 මාර්තු මාසයේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩි තැබීම් සිදුකර පුද්ගලයන් 51 දෙනෙක් මරා දැමූ ඝාතකයාට නවසීලන්ත අධිකරණය අද උදෑසන මරණ දඬුවම නියම කළේය.

ඝාතකයා බව සනාථ වූ 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් ඉදිරියේ පුරා දින 4 ක් සාක්ෂි විභාගය සහ ප්‍රකාශ ලබාදීම සිදුවිය. මේ අවස්ථාවන්වලින් 90%කදී ඔහු හැඟීම් දැනීම් නැති අයෙකු සේ සිටියේය.

විනිසුරුවරයා පැවසුවේ ඔහුගේ ක්‍රියාවන් අමානුෂික බව සහ අනුකම්පා විරහිත බව ය.  ක්‍රයිස්ට් චර්ච් විනිසුරු කාමරොන් මැන්ඩර් (Cameron Mander) මෙසේ ද පැවසුවේය. ‘‘ඔබ කර ඇති අපරාධ ඉතාම කෘෘරයි. දිවි ඇති තෙක් සිරගත කළත් එය ඔබට සුදුසු දඬුවම නෙවෙයි..‘‘

කෙසේ නමුත් නවසීලන්ත අධිකරණ ක්‍රමය තුළ මරණ දණ්ඩනය අහෝසි කර තිබේ. ඒ අනුව ඔහුට නවසීලන්තයේදී පුද්ගලයෙකුට ලැබිය හැකි උපරිම දඬුවම වන දිවි ඇති තෙක් කිසිදු සමාවකින් තොරව සිපිරි ගෙට නියම කෙරීම හිමිවිය. එනම් කිසිදු අවස්ථාවක සම්පූර්ණ දඬුවමෙන් කොටසක් පමණක් ගෙවා නිදහස් වී පැමිණීමේ අවස්ථාව මෙහිදී අහිමි වෙයි. විනිසුරුවරයාට අනුව මෙම දඬුවම ලබාදෙන්නේ ‘ඉතාම භයානක මිනීමැරුම්‘ සිදුකළ තැනැත්තන්ට ය.

තවද, නවසීලන්ත ඉතිහාසය තුළ ත්‍රස්තවාදී චෝදනාවකට පුද්ගලයෙකු වරදකරු වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි.

සාක්ෂි ප්‍රකාශ සටහන් කර ගත් අවසාන දිනයේ පුරා පැයක් විනිසුරු මැන්ඩර් ගතකළේ, ටැරන්ට් විසින් තුවාළ කළ හා මරා දැමූ එක් එක් අයෙකුගේ කතාන්දර ඔහුට නැවත සිහිපත් කිරීම සඳහා ය. නමුත් මේ කිසිදු අවස්ථාවක චූදිතයා කිසිදු පසුතැවීමක් හෝ ශෝකයක් නොපෙන්වූ බව ද විනිසුරු මැන්ඩර් සඳහන් කළේය.

නීතීඥයෙකුගේ මාර්ගයෙන් ටැරන්ට් අධිකරණයට පැවසුවේ තමන්ට ලැබෙන දඬුවම පිළිබඳ කිසිදු විරෝධයක් නොදක්වන බව ය.

අවසානයේ විනිසුරු මැන්ඩර් මෙසේ ද පැවසීය.

“If not here, then when?”

‘‘මෙම ස්ථානයේදී ඔබට මේ දඬුවම නොලැබෙන්නේ නම් එය ලැබෙන්නේ කොතැනකින්ද?“

GETTY IMAGES විනිසුරු Mander

 

‘‘අපිට ඔහුව නැවත දකින්නවත් අහන්නවත් අවශ්‍ය නැහැ..‘‘ – නවසීලන්ත අගමැතිනිය

නවසීලන්ත අගමැතිනිය ජසින්දා ආර්ඩන් මෙම දඬුවම පිළිබඳ කියා තිබෙන්නේ, ‘‘ඔහු ගැන හිතන්න, ඔහුව නැවත දකින්න හෝ ඔහු ගැන අහන්න අපිට කිසිම උවමනාවක් නැහැ..‘‘ යනුවෙනි.

මුළු ලොවම කම්පාවට පත්කළ 2019 මාර්තු ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පසු නවසීලන්තය වහාම ගිනි අවි නීති දැඩි කළේය.

ක්‍රයිස්ට් චර්ච් හිදී සිදුවූයේ කුමක්ද?

2019 මාර්තු 15 දා තුවක්කුකරු ක්‍රයිස්ට් චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකකට පහර දුන්නේය. ඔහු මුලින්ම ඉලක්ක කළේ බැතිමතුන් පිරී සිටි අල්නුර් දේවස්ථානයයි. එයින් තත්පර 30කට අඩු කාලයකදී මෝටර් රථය වෙත ගිය ඔහු, එයින් තවත් ගිනි අවියක් රැගෙන නැවතත් පල්ලියට ගොස් නැවත වෙඩි තැබීම ආරම්භ කළේය.

ඔහු පැළඳ සිටි හෙඩ්කෑමය මගින් මෙම සම්පූර්ණ සිද්ධියම ෆේස්බුක් ලයිව් වීඩිියෝවක් හරහා ප්‍රචාරය කරන්නට ද ඔහු කටයුතු කර තිබුණේය.

ඉන්පසු ඔහු ලින්වූඩ් ඉස්ලාමීය මධ්‍යස්ථානයට ගොස් එහි පිටත සිටි දෙදෙනෙකුට වෙඩි තබා ජනේලවලට වෙඩි තබන්නට පටන් ගත්තේය.

ඉස්ලාමීය මධ්‍යස්ථානය තුළ සිටි අයෙකු පිටතට දිවගෙ විත් ප්‍රහාරකයා අතතිබූ ෂොට්ගන් අවිය ගෙන ඔහුව පළවා හරිනන්ට සමත් විය.

පොලිස් නිලධාරීන් ඔහු පසුපස ලුහුබැඳ ගොස් ඔහුව අල්ලාගත්තේ ඉන් පසුව ය.

ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය පැවසුවේ තුවක්කුකරුගේ සැලසුම වී තිබුණේ තමන් පහර දෙන පල්ලි, ඉන්පසුව ගිනිබත් කිරීම බවයි. ඒ සඳහා ද තුවක්කුකරුවා සූදානමින් පැමිණ තිබුණේය.

මේ සතියේ අධිකරණයේදී හෙළිවූයේ තුවක්කුකරු තුන්වන පල්ලියටකත් පහර දීමට සිතා සිටි නමුත් පොලිසියේ අත්අඩංගුවට පත්වීම නිසා එය වැළැක්වුනු බවයි.

 

ඝාතකයා ගැන

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මෙම 29 හැවිරිදි තරුණයාව විස්තර කරන්නේ ‘‘අන්තවාදී, දක්ෂිණාංශික ත්‍රස්තවාදියෙක්‘ ලෙස ය.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ජනපදයේ ඔහු ඉපදෙන්නේ කසළ එක්රැස් කරන පියෙකුට දාව ය. ඔහුගේ මව ගුරුවරියකි.

2010 වසරේ දී පියා මිය යාමෙන් පසුව සිය රැකියාවෙන් ඉවත් වී ඇති ටැරන්ට් ආසියාවේ සහ යුරෝපයේ සංචාරය කර තිබේ. එම සංචාරයන් නිසා ඔහු වෙනස් වන්නට ඇතැයි ඔහුගේ මිත්තණිය මාධ්‍ය සමග පවසා ඇත. ‘‘ආපහු ගෙදර ආවෙ අපි දැනගෙන හිටිය කොලුවා නෙවෙයි..‘‘

2017 වසරේදී නවසීලන්තයේ පදිංචියට ආ ඔහු, මුස්ලිම්වරුන්ව ඉලක්කකරගෙන ප්‍රහාර එල්ල කිරීම සැලසුම් කර ඇත.

ප්‍රහාරයට පෙර පිටු 74 ක ‘මැනිෆෙස්ටෝ‘ ලේඛනයක් (කරන්නට බලාපොරොත්තුවන දේවල් ගැන ලේඛනයක්) ද ඔහු අන්තර්ජාලයට මුදා හැර තිබේ.

‘‘මම ගිනි අවි තෝරාගන්නේ සමාජ කතිකාවට එයින් විය හැකි බලපෑම, වැඩිමනත් මාධ්‍ය ආවරණය සහ ඇමරිකානු දේශපාලනයට එයින් ඇතිවිය හැකි බලපෑම සලකා බලමින්. ඇමරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි හිමිකාරිත්වය ගැන පරමාදර්ශයන් දෙකක් අතර ගැටුමක් නිර්මාණය කිරීමට…සමාජයීය, සංස්කෘතික,දේශාපලන සහ වාර්ගික බෙදීම එයින් ඇතිවන ආකාරය ගැන..‘‘

මේවා අහිංසක ජීවිත 51 ක් බිලිගැනීම සාධාරණීකරණය කරමින් ලියූ බයිලා යැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් සැබවින්ම මෙම ප්‍රහාරයෙන් පසුව නවසීලන්තයේ ගිනිඅවි නීති වෙනස් විය. වෙඩි තැබීමෙන් මසකටත් අඩු කාලයක් තුළ 119-1 වශයෙන් නවසීලන්ත පාර්ලිමේන්තුව ගිනිඅවි තහනම ගැන යෝජනාවක් සම්මත කළේය. ඒ අනුව හමුදා වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කිරීම ඇතුළු වෙනස්කම් ගණනාවක් සමග ගිනි අවි නීති ප්‍රතිසංස්කරණය විය. එසේම නවසීලන්ත ආණ්ඩුව, අලුත මිලදී ගත් ගිනි අවි, ඒවායේ හිමිකරුවන්ගෙන් මුදල් ගෙවා ආපිට මිලදී ගත්තේය.

පෙර ලිපිය – මේ කඳුළු නුඹ වෙනුවෙන් නොවෙයි – අධිකරණයේදී ගලා ගිය ක්‍රයිස්ට්චර්ච් ශෝකය සහ කෝපය

 

-රදිකා ගුණරත්න – අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com/

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *