මූල්‍ය වංචා මඩින දැඩි නීති ගේනවා – බන්දුල

මහජනතාවගේත් ගනුදෙනු කරුවන්ගේත් ආරක්ෂාවට අවශ්‍ය කරන දැඩි නීතිරීතී පද්ධතියක් කඩිනමින් හඳුන්වාදෙන බවත් ඒ සඳහා වන පනතක් නව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගන්නා බවත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ,උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රටේ නිත්‍යනුකූල නොවන අයුරින් සිදුවන ගනුදෙනු,අයථා ගනුදෙනු ඇතුළු සියලු මූල්‍ය ගනුදෙනු හරහා සිදුවන නොයෙකුත් අක්‍රමිකතා,වංචා දූෂණ පිළිබඳව දැඩි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බවද ඒ මහතා කීය. මහනුවරට පැමිණ අද  (12)ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේබව පැවසුවේය.කොවිඩ්-19 බලපෑම හේතුවෙන් වසා දැමුණු ශ්‍රී දළදා මාලිගාව අද(12) යළි බැතිමතුන් සඳහා විවෘත කෙරුණු අවස්ථාවේ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට ඇමැතිවරයා පැමිණ සිටියේය.  

විනය ගරුක හා නීති ගරුක සමාජයක් ඇති කිරීම සඳහා ජනපතිතුමන් විසින් විශේෂ කාර්ය සාධක බළකායක් පත්කළ බවත් මහජන නියෝජිතයින් මෙන්ම මහජන නියෝජිතයින් නොවන සියලු පුරවැසියන්ට එකම නීතියකට යටත්කර නීතිගරුක සමාජයක් ඇති කිරීම සඳහා අන්කවර යුගයකටත් වඩා ජනපතිතුමන් යටතේ මෙම යුගයේ කටයුතු සිදුවන බවත් ඒ මහතා කීය. නීත්‍යානුකූල නොවන මූල්‍ය ආයතන සම්පූර්ණයෙන් වසාදමා තහනම් කළ යුතු බවත් නිත්‍යානුකූල ආයතන අධීක්ෂණය කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු බැවින් ඒ යටතේ සියලු නිත්‍යානුකූල මුල්‍ය ආයතන අධීක්ෂණය වඩා විධිමත් හා කාර්යක්ෂමව සිදුකිරීම සම්බන්ධව මුදල් ඇමැතිවරයා මහ බැංකුව සමඟ සාකච්ඡා කර තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය. මහජන නියෝජිතයෙක් ලෙසත් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයකු ලෙසත් දළදා සමිඳුන් වැඳපුදාගෙනරටේ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය සාධාරණ,සාමකාමී හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට සියලු ලංකා වාසීන්ට ශක්තිය ධෛර්ය ලැබේවායි තමන් ප්‍රාර්ථනය කරන බවද ඇමැතිවරයා පැවසුවේය. කොවිඩ් වසංගතයත් සමඟ හඳුන්වාදුන් නීතිරීති,රෙගුලාසි යටතේ මෙවර මහ මැතිවරණය පැවැත්වෙන බවත් මේ ආකාරයට මැතිවරණයක් පැවැත්වෙන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට බවත් ඒ මහතා කීය.

බැනර්,පෝස්ටර්,කටවුට් කිසිවක් නොමැතිව මඩ හා වෛර චේතනාවෙන් තොරව ප්‍රචන්ඩත්වයට සම්පූර්ණයෙන් තිත තබා මැතිවරණ ව්‍යාපාරය පැවැත්වන්නේ කෙසේද යන්න පිළිබඳව තමන් ආදර්ශයක් ලබාදෙන බවද ඇමැතිවරයා පැවසුවේය. කොවිඩ් ප්‍රශ්නයත් එක්ක නව තාක්ෂණයේ විවිධ අත්හදා බැලීම් පසුගිය කාලයේ තුළ සිද්ධවූ බවත් ජාතික හා පෞද්ගලික විශ්ව විද්‍යාල වසාදමා තිබෙන නමුත් අන්තර්ජාලය ඔස්සේ දරුවන් නිවෙස්වල සිට ඉගෙනුම ලබන බවත් ඒ මහතා කීය. ප්‍රථම වතාවට මෙවැන්නක් ක්‍රියාත්මක කරන නිසා එහි සාර්ථකත්වය 70% ක් පමණ වන බවත් තවත් 30% ක පමණ සාරථකත්වයක් ළඟාකර ගත යුතුව තිබෙන බවත් හෙතෙම පැවසුවේය. පසුගිය කාල පරිච්ඡේදය තුළ පාසැල් සිසුන් අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම් ආරම්භ කළ බවත් පළමු වතාවට ආරම්භ කළ නිසා අඩුපාඩු තිබෙන නමුත් අනාගතයේ මේ පාඩම් තුළින් වඩා හොඳ සාර්ථකත්වයක් ළඟාකර ගත හැකි බවත් ගුණවර්ධන මහතා කීය.

ලෝකයේ අනිත් රටවල නේවාසිකාගාර නොමැතිව විශ්ව විද්‍යාල වල ශිෂ්‍යයෝ නොමැතිව පන්ති හා දේශන අඛන්ඩව නොපවත්වා අන්තර්ජාතික මට්ටමින් සිසුන් ඔන්ලයින් ක්‍රමයට විභාග වලට පවා මුහුණ දෙන බවත් අප කැමැති වුවත් අකමැති වුවත් ලෝකය අපට වඩා වේගයෙන් ඉදිරියට යන බවත් ඇමැතිවරයා කීවේය.

කොළඹ නගරයේ අධිකරණ  බන්ධනාගරයන් සමඟ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය මගින් සම්බන්ධ වෙමින් සැකකරුවන්ට ඇප ලබදීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් ටෙලිකොම් ආයතනය සමඟ සම්බන්ධව එය සිදු කිරීමට අනුමැතිය හිමිවූ බවත් කී බන්දුල ගුණවර්ධන මහතා .නාවෝත්පාදන යුගයකට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ රට යොමුවෙන බවද අවධාරණය කළේය.. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 225 පිළිබඳවම මේ රටේ ප්‍රබුද්ධ ජනතාවට හොද අවබෝධයක් තිබෙන බවත් වෛර චේතනාවෙන් එළව එළවා පලිගැනීම් සඳහා මිස ව්‍යවස්ථාදායකය තුළින්  ජනතාවගේ හා රටේ ආනගත යහ පැවැත්මට අදාළ අණපනත් සම්මත කිරීමේදී දුර්වල ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබුණු බව තමන්ද පිළිගන්නා බවත් ඒ මහතා කීය. එසේ කටයුතු කළ පිරිස් කළකී  කතා හැන්සාඩ් වාර්තාවල මුද්‍රිතව තිබෙන බවත් ඔවුන් කළ වාද විවාද මාධ්‍ය මගින් ප්‍රචාරයකර තිබෙන බවත් කී ඇමැතිවරයා එසේ හැසිරුණු අය පිළිබඳව රටේ  රටේ ජනතාවට අවබෝධයක් තිබෙන බවද අවධාරණය කළේය.

මෙරට බුද්ධිමත් ඡන්දදායකයින් මෙම  තීරණාත්මක අවස්ථාවේ ලංකාවේ පාර්ලිමේන්තුව සම්බන්ධව සරළ සිල්ලරට නොසිතා ජාතික ආරක්ෂාවත් ජාතික සමඟියත් පතා අන්තවාදයට,බෙදුම්වාදයට හා  ජාතිවාදයට ඉඩනොදෙන ශක්තිමත් බලයක් ජනාධිපතිට ලබාදීමේ අරමුණින් ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් තෝරයි කියා තමන්ට විශ්වාසයක් ඇති බවද හෙතෙම පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *