මුහුදු වතුර බීමට ගන්න පරීක්ෂණ – ජලසම්පාදන සභාපති

මුහුදු ජලය අඩු වියදමකින් පිරිපහදු කර බීමට ගැනීමට ගැනීමට ඇති හැකියාව  සම්බන්ධව පරීක්ෂණ සිදුකරන බව ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පවසයි. ජනතාව වෙත පානීය ජලය ලබා දීමේදී මණ්ඩලයට විශාල පිරිවැයක් දරන්නට සිදුව තිබෙන බවත් මේවන විට ජල පාරිභෝගිකයින් ගෙන් රුපියල් බිලියන 07  ක පමණ මුදලක් අයවිය යුතුව තිබෙන බවත් ඒ මහතා කීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ඊයේ (21) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රණතුංග මහතා මේ බව ප්‍රකාශ කළේය.

ක්ලෝරීන් මිල,විදුලි බිල් ඉහළ යාම නිසා මණ්ඩලයේ දෛනික වියදම් වැඩි වී තිබෙන බවත් ජලය අපතේ යාම අවම කිරීම, සූර්ය ශක්තියෙන් විදුලිය ලබා ගැනීම ආදි ක්‍රම ඔස්සේ වියදම් අඩුකර ගැනීමට සැළසුම් කර තිබෙන බවත් රණතුංග මහතා කීය. මණ්ඩලය සතු කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා ඉඩම් තිබෙන බවත් මේවා විකුණා හෝ ලීසිං පදනම මත ලබාදී මණ්ඩලයට ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසුවේය. කොවිඩ් ව්‍යාප්තියත් සමඟ ජනතාවගේ ආදායම් මාර්ග අවහිර වීම නිසා ඇතිවූ ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන යම් යම් සහන ජල පාරිභෝගිකයින්ට ලබා දෙන ලෙස රජය යෝජනා කළ බවත් ඊට අනුගතව මණඩලය සෑම විටම ක්‍රියා කළ බවත් ඒ මහතා කීය. මණ්ඩලය වෙත විවිධ ව්‍යාපෘති වෙනුවෙන් විදේශ රට වලින් ලැබෙන්නේ ආධාර වලට වඩා  ණය  බවත් එම ණය ගෙවීමට මණ්ඩලයට ආදායම් අවශ්‍යය බවත් ඒ මහතා පැවසුවේය.

ජල සම්පාදන මණ්ඩලයට වසර 40 ක ඉතිහාසයක් තිබෙන බවත් මෙම වසර 40 තුළ මණ්ඩලය මගින් නළ ජලය සපයාදී ඇත්තේ ජන ගහණයෙන් 40% ක පමණ පිරිසකට පමණක් බවත් කී ඒ මහතා ඉදිරි සිව් වසරේදී මෙය 80% ක් දක්වා ඉහළට ගෙන ඒමට අපේක්ෂා කරන බවද අවධාරණය කළේය. මණ්ඩලය මගින් නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ජලය විශාල ලෙස අපතේ යන බවත් මෙය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවත් ඒ මහතා පැවසුවේය. අපට ලැබෙන ජලයෙන් 70 % පමණ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා යන බවත් මෙම අපතේ යන ජල ප්‍රමාණය හැකි තරම් ජනතා අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීම සඳහා අවශ්‍යය සැළසුම් සකස් කිරීමට වාරිමාර්ග දෙපාරතුමේන්තුවට,මහවැලි අධිකාරියට සහ ජල සම්පත් මණඩලයට විශාල වගකීමක් පවතින බවත් සභාපතිවරයා කීවේය.  වසර 2024 වන විට පැය 24 පුරා අඛන්ඩව නළ ජලය ලබා දිය යුතු බවට මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත් ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මණ්ඩලය විශාල මුදලක් වැයකර ඉහළ ප්‍රමිතියක් සහිතව ලබාදෙන ජලය ඇතැම් අය වාහන සේදීමට හා වගා කටයුතු සඳහා යොදා ගන්නා බවත් වැසි ජලය හා ළිං ජලය හැකි තරම් එවැනි කටයුතු වලට භාවිත කරන ලෙස ඉල්ලීමක් කරන බවත් හෙතෙම කීය.වසර සිය ගණනක් පැරණි නළ පද්ධතියේ පවතින දුර්වලතා නිසා මණ්ඩලය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ බෙදා හරින ජලයෙන් 40 % ක් පමණ අපතේ ගිය බවත් දැන් එය 15% ක් දක්වා අඩුකර ගැනීමට අවශ්‍යය පියවර ගෙන තිබෙන බවත් කී රණතුංග මහතා මෙම සැළසුම දිවයින පුරා ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.