මුස්ලිම් ජනයා මෙවර නිවැරදි තීන්දුව ගනීවි – ඒ.එල්.එම් ෆාරිස්
ජනපතිවරණයේදී මුස්ලිම් ජනතාව ගත් වැරදි තීරණය මහ මැතිවරණයේදී ඔවුන් නොගන්නා බව ස්ථිර යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ඒ.එල්.එම් ෆාරිස් මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණියහොත් සුළු ජාතීන්ට විවිධ පීඩාවලට මුහුණ දීමට සිදුවන බවට වැරදි ප්‍රචාර ඇතැම් මුස්ලිම් හා ද්‍රවිඩ නායකයින් ගෙනගිය බවත් ඒ නිසා ජනපතිවරණයේදී සුළු ජාතීන් බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය නොදුන් බවත් ඒ මහතා කීය. මහනුවර මහයියාවේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ෆාරිස් මහතා මේ බව පැවසුවේය.
ජනපතිවරණයෙන් පසු ගෙවුණු මාස හතක කාලය තුළ ජනපතිතුමන් සියලු ජාතීන්ට එකලෙස සලකමින් රට ඉදිරියට ගෙන යෑමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධව මේ රටේ සුළු ජාතීන් විශාල ලෙස සතුටට පත්ව සිටින බවත් ජනපතිවරයේදී ගත් වැරදි තීරණය මහ මැතිවරණයේදී නිවැරදි කරන්නට ඔවුන් බලා සිටින බවත් හෙතෙම කීය. කොවිඩ්-19 වසංගතය පාලනය කරගන්නට ලෝකයේ දියුණු බොහෝ රටවලට නොහැකිවී තිබෙන බවත් අපට මෙම ප්‍රශ්නයෙන් ගොඩ ඒමට හැකිවූයේ ජනපතිතුමන්ගේ ඍජු නායකත්වය නිසා බවත් ලෝක නායකයින් පවා ජනපති වැඩපිළිවෙළ සම්බන්ධව ප්‍රශංසා මුඛයෙන් කතා කරන බවත් ෆාරිස් මහතා පැවසුවේය.
රටක ප්‍රජාතන්ත්‍රවාදය වඩා හොඳින් තහවුරු වීමට ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු බවත් මෙවර මහ මැතිවරණයෙන් රටට වන බරපතලම හානිය ශක්තිමත් විපක්ෂයක් නොමැතිවීම බවත් කී ඒ මහතා සමඟි ජනබලවේගය හා එජාපය යන දෙකේම මන්ත්‍රී සංඛ්‍යාව 60 නොඉක්මවන බවද අවධාරණය කළේය. මෙවර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතරයක් ආණ්ඩුපක්ෂයට හිමිවත්දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ මහනුවරින් මන්ත්‍රීවරු 08 දෙනෙකු පාර්ලිමේන්තු යන බවත් පසුගිය ජනපතිවරණයේදී පරාජයට පත්වූ ගම්පොළ,උඩුනුවර,හේවාහැට,පාතදුම්බර ආසන මෙවර පහසුවෙන් ජනගන්නා බවද ඒ මහතා කීවේය.
මේ රටේ අති බහුතර මුස්ලිම් ජනතාව අන්තවාදය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි ක්‍රියාවන්ට සම්බන්ධවූවන්ට නිසි දඬුවම් ලබාදිය යුතු බවත් කී ඒ මහතා වත්මන් ආණ්ඩුව යටතේ ආරම්භකර තිබෙන පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ සාධාරණ අන්දමින් සිදු කෙරෙන බවද ප්‍රකාශ කළේය. ජනපති හා අගමැති මහින්ද රාජපක්ෂ හොඳ සුසංයෝගයක් බවත් ඔවුන් දෙදෙනා හැර මේ රට ඉදිරියට ගෙන යා හැකි දේශපාලනඥයින් යුගලයක් නොමැති බවත් හෙතෙම කීය.
පසුගිය යහ පාලන රජය සමයේ ජනපති හා අගමැති මාර්ග දෙකක ගමන් ගැනීමෙන් රට බරපතල අර්බුදයකට පත්වූ බව රටම දන්නා කරුණක් බවත් ඉදිරි මහ මැතිවරණය ජයගෙන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යහපත් සංශෝධන කිහිපයක් ගෙන ඒම ජනපති,අගමැති දෙදෙනාගේම මතය බවත් ෆාරිස් මහතා පැවසුවේය.