මුල්ම භික්ෂු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය අද විවෘත වේ

මෙරට ප්‍රථම භික්ෂු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය අද  (01) මහනුවරදී වැව රවුමේ  පිහිටි ඩෙවෝන් රෙස්ට් ආයතනය  මල්වතු  අස්ගිරි උභය මහ විහාරීය අනුනායක ස්වාමින්ද්‍රයන් ප්‍රමුඛ මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාරදෙනු ලැබීය.

ඩෙවෝන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ගාමීණී වීරරත්න මහතා විසින් මෙම ආයතනය  භික්ෂු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා ලබාදී තිබෙන අතර ඒහි ඇඳන් ඇතුළු සෙසු පහසුකම් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංගල දෑල මහතාගේ මූලිකත්වයෙන් දළමා මාලිගාව මගින් සම්පූර්ණ කර තිබේ.මහනුවර විෂ්ණු දේවාළයේ බස්නායක නිළමේ මහේන් රත්වත්ත මහතාද විෂ්ණු ‌දේවාළය වෙනුවෙන් ‌‌මේ සඳහා දායකත්වය ලබාදී තිබේ.

භික්ෂූන් වහන්සේලා පනස් නමකට මෙහි ඒකවර ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන.මහනුවර ජාතික රෝහල,පේරා‌දෙණිය ශික්ෂණ රෝහල සහ මහනුවර වෛද්‍ය සංගමය මගින් මෙම කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානය පූර්ණ අධීක්ෂණයට ලක්කරනු ඇත.

මෙම ස්ථානය සඳහා ගිලන් රථයක්ද ලබා දීමට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පියවර ගෙන ඇත.

ප්‍රතිකාර ලබමින් සිටින භික්ෂූන් වහන්සේ නමක් හදිසියේ අසාධ්‍ය තත්ත්වයට පත්වුවහොත් කඩිනමින් මහනුවර ජාතික රෝහලට හෝ පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර ප්‍රතිකාර ලබාදෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

සාමාන්‍ය වාට්ටු වල ගිහි ජනතාව සමඟ ඒකට ප්‍රතිකාර ලබා ගැනීමේදී කොවිඩ් ආසාදිත භික්ෂූන් වහන්සේලා දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවත් මේ නිසා උන්වහන්සේලා වෙනුවෙන් වෙනම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ පැවැති සාකච්ඡාවකදී ඒ වෙනුවෙන් ඩෙවොන් රෙස්ට් ආයතනය ලබාදීමට ඒහි අධිපති ගාමීණී වීරරත්න මහතා පූර්ණ කැමැත්ත පළකළ බවත් ආනන්ද හිමියෝ කීහ.

කොවිඩ් ආසාදිත මෙරට ඔ්නෑම ප්‍රදේශයක භික්ෂූන් වහන්සේ නමකට මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු වී ප්‍රතිකාර ලබා ගැනීමට හැකි බවද උන්වහන්සේ පැවසූහ.

මෙරට ජනතාව කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ ව්‍යාපාරිකයෙකු ලෙස රටට සහ ජනතාවට යමක් කළ යුතුය යන හැඟීම ඇතිව තමන්ට අයත් ඩෙවෝන් රෙස්ට් ආයතනය කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා ලබාදුන් බව ගාමීණී වීරරත්න මහතා කීය.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරු වන පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි,දිඹුල්කුඹුරේ විමලධම්ම,අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ චන්දන විජේසිංහ,පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නන්දන ජයතිලක යන මහත්වරුද සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *