මියන්මාර මිලිටරි රෙජීමය ආර්ථිකයට වෙඩි තබයි.

ඉන්දීය පුද්ගලික බහු වරාය මෙහෙයුම් කරුවෙකු වන අදානි සමාගම සිය තිරසාර දර්ශකයෙන් ඉවත් කරන බව නිව්යෝක් කොටස් වෙළඳපොල පදනම් කරගත් ඩව් ජෝන්ස් අප්‍රේල් 13 වැනිදා නිවේදනය කළේය.  රොයිටර්ස් වාර්තා කරන අන්දමට මියන්මාර ආර්ථික සංස්ථාව බදු දුන් ඉඩමක ඩොලර් මිලියන 290ක් ආයෝජනය කරමින් වරායක් ඉදි කිරීමට අදානි සමාගම ක්‍රියා කරමින් සිටී.  මෙකී මියන්මාර ආර්ථික සංස්ථාව එරට මිලිටරි රෙජීමයේ සහාය ලබන ව්‍යුහයක් වන අතර අදානි ව්‍යාපෘතිය ද වක්‍රව මිලිටරි සබඳතා මත ක්‍රියාත්මක වේ. අදානි සමාගමට ඩව් ජෝන්ස් දර්ශකයෙන් පිට මං වන්නට සිදු වූයේ එම හේතුව නිසා ය. බැලූ බැල්මට මේ කරුණ බලපාන්නේ ඉන්දීය අදානි සමාගමට වූවද මෙවැනි ගෝලීය ප්‍රවණතා ආයෝජකයන් අධෛර්යමත් කිරීමට හේතු වන අතර දැනටමත් වික්ෂිප්තව සිටින ආයෝජකයන් මියන්මාරයෙන් ඉවත් කිරීමට සහ නව ආයෝජකයන් එරට දෙස නොබැලීමට පොළඹවනු ඇත.  එහි ප්‍රථිඵලය වන්නේ අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය යටතේ නව ආයෝජන ගලා එමින් සහ නැඟී සිටිමින් පැවති මියන්මාරය යළි ඇද වැටීමයි. කුමන හෝ රාජ්‍යයක් තුළ මිලිටරි බලය උත්සන්න වීම හා එමගින් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් වීම අවසානයේ කැඳවන්නේ මෙවැනි විනාශයක් වන අතර එහි වන්දිය බොහෝ විට ගෙවන්නට සිදු වන්නේ මහජනතාවට ය.

පෙබරවාරි පළමු වැනිදා ප්‍රජාතන්ත්‍රවාදී මහජන රජය කුමන්ත්‍රණයකින් පෙරළා දැමීමෙන් පසුව මේ දක්වා හත්සියයකට අධික පිරිසක් මරා දමා ඇති මිලිටරි රෙජීමය දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇත. සිය ඡන්දයෙන් පත් කර ගත් රජය වෙනුවෙන් වීදි සටන්වලට අවතීර්ණ වී ඇති ජනයා වැඩ වර්ජන රැල්ලකින් ප්‍රතිචාර දක්වා ඇත.  ගෝලීය පුවත් ප්‍රවාහයන්ගෙන් සැඟ වුවද, වාර්ගික කැරළිකාර කණ්ඩායම් ජන සටන්වලට සහය දෙන්නට සපථ කර තිබියදී ගම්බද පළාත්වල පොලිස් ස්ථානවලට පහර දී ආයුධ පැහැර ගැනීමට ද ඇතැම් පිරිස් උත්සාහ දරා ඇත. ඉදිරියේ දී මේ තත්ත්වය මිලිටරි පාලනයට එරෙහි සන්නද්ධ අරගලයක් බවට පත් වූවහොත් දැනටමත් කඩා වැටෙමින් ඇති මියන්මාර ආර්ථිකය බිහිසුණු ඵල විපාකවලට මුහුණ දෙනු ඇත. Why the Myanmar economy is slowing, and how it could bounce back | The  Myanmar Times

මියන්මාර ආර්ථිකය මිය යමින් තිබේ.

අග්නිදිග ආසියාවේ දිළිඳු රාජ්‍යයක් වන මියන්මාරයේ ආර්ථිකය එක තැන පල් වෙමින් තිබීමට හේතුව වූයේ 2011 දක්වා බලයේ සිටි මිලිටරි රෙජීම ය. කෙසේ වෙතත් ඉන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අවතීර්ණ වීම නිසා එරට ආර්ථිකය ක්‍රමයෙන් පිබිදෙමින් තිබූ ආකාරය දැක ගන්නට ලැබුණි. වාණිජ අගනගරය වන යැන්ගුනයේ  හා තදාසන්න නගරවල කර්මාන්ත ආරම්භ කිරීමට බටහිර රටවල ආයෝජකයෝ පවා උනන්දු වූ අතර එහි තායිලන්තයේ බැංකොක් පන්නයේ ආර්ථිකයක් වැඩෙමින් තිබූ බව දිස් විය. එහෙත් පසුගිය පෙබරවාරි 01 වැනි දා මිලිටරිය ජනතා බලය පැහැර ගැනීමත් සමග සියල්ල නොපිට ට හැරෙන්නට වූ බව ලෝක බැංකුව ඇතුළු ආයතනවල විශේෂඥයන්ගේ අදහසයි. මියන්මාරයේ වර්තමානය පිළිබඳ සිය තත්ත්ව වාර්තාවෙන් ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, 2011ට පෙර එරට පැවතියේ ආර්ථික දුෂ්කළමනාකරණයක් බවයි. අධිකාරිවාදී පාලනය සහ ස්වභාවික සම්පත් කොල්ල කෑම ඇතුළු විනාශකාරී ක්‍රියා මගින් එරට ආර්ථිකය ගිලන්ව තිබුණි. 2011 දී රට බැහැරට විවෘත කිරීම හා 2015 පළමු මැතිවරණයෙන් අනතුරුව තත්ත්වය කෙමෙන් යහපත් වන්නට විය. විනිමය අනුපාත ඒකාබද්ධ කිරීම, වෙළඳපොල ලිහිල්කරණය  හා කලාපීය වෙළඳපොළවල් හා සම්බන්ධතා ගොඩ නගා ගැනීම, ආයෝජකයන් පැමිණීම වැනි සාධක නිසා මෙන්ම ආර්ථික හා මූල්‍ය පද්ධති නවීකරණය වීම නිසා සියයට 07කට වැඩි ආර්ථික වර්ධන වේගයක් දිස් විය.  2007 සිට 2015 වන විට දරිද්‍රතා අගය සියයට 48 සිට සියයට 25 දක්වා පහත වැටුණි. අවුන් සාන් සුකී ගේ රජය මුහුණ දුන් හා ඔවුන් ද දායක වූ අයහපත් තත්ත්ව යටතේ ද, කොවිඩ් ව්‍යසනය නිසා ද යම් යම් පසුබෑම් පැවති මියන්මාර ආර්ථිකයේ එකී සුබ සිහින මේ වන විට වියැකී ගොස් හමාර ය. නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුවද පවසා ඇත්තේ දැනට ක්‍රියාත්මක සිය ව්‍යාපෘති අධීක්ෂණය කිරීම හැර මියන්මාරය සම්බන්ධයෙන් තමන් නිශ්ක්‍රිය පිළිවෙතක් අනුගමනය කරන බවයි.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාවලට අනුව ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ එරට දළ දේශීය නිෂ්පාදිතය 2018 වසරේ සියයට 6.4ක්ද 2019 වසරේ සියයට 6.8ක් ද විය. 2020 කොවිඩ් වසංගත තත්ත්වය තුළ අග්නිදිග ආසියාවේ සියලු රටවල් අතර දළ ජාතික නිෂ්පාදිතය ධන අගයකින් වර්ධනය වූයේ රටවල් 03ක පමණි. ඒ මියන්මාරයේ, වියට්නාමයේ සහ බෲනායි හී ය.  එහිලා 1.8ක වර්ධන අගයක් පෙන්නුම් කරමින් මුල් තැන ගත්තේ මියන්මාරයයි. 2021 වසරේදී මේ අගය සියයට 6ක් වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබුණි. සුකී රජය යටතේ 2019 වසරේදී දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 0.4ක ධන අගයක් පෙන්නුම් කරමින් එරට ගිණුම යහපත් තත්ත්වයක පැවතියේ ලංකාව වැනි රටවලටද ආදර්ශයක් වෙමිනි. එම වසරේ ශ්‍රී ලංකාවේ එම අගය සියයට ඍණ 35කට ආසන්න විය. දැන් ස්වභාවික සම්පත්වලින් පොහොසත් මේ රටට අත්ව ඇති ඛේදජනක ඉරණම හේතුවෙන් ග්‍රාමීය දිළිඳු බව වර්ධනය වී සමස්ත ආර්ථික ක්‍රියාවලිය බිඳවැටෙනු ඇත.

මියන්මාරයේ ස්වභාවික සම්පත්

මියන්මාරය ස්වභාවික ඛනිජ සම්පත්වලින් පොහොසත් රටකි.  යකඩ හා වෙනත් ලෝහ නිධි, පෙට්රෝලියම් හා ස්වභාවික වායුවලින් පොහොසත් එරට භූමිය වටිනා මැණික් වර්ග සුලබව හමුවන කලාපවලින් යුක්ත ය. 1970 ගණන්වලදී මියන්මාරයේ ඛනිජ සම්පත් ගවේෂණ ආරම්භ වූ අතර, රිදී, ඊයම්, සින්ක්, රත්‍රන් හා ටින් මෙන්ම තඹ ද විවිධ පළාත්වලින් සොයා ගැනුනි. සුළු වශයෙන් දියමන්තිද තවත් මැණික් වර්ග රැසක්ද මියන්මාර පොළවෙන් සොයා ගන්නා අතර ලොකයේ ප්‍රමුඛ ජේඩ් කණින්නෙකු ද වේ.

ආයෝජකයෝ රට හැර යන්නට ආසන්නයි.

මියන්මාරයේ යැන්ගුනයට ආසන්න තිලාවාහි සහ දුර බැහැර පතෙයින් ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලා දෙකක කාර්මික ප්‍රධානියා වන නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි ලාංකිකයෙකු පැවසුවේ අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව නිසා සිය කම්හල් වසා දැමීමේ අවදානමක පවතින බවයි. ඔහුට අනුව පසුගිය වසර දෙක තුන තුළ අග්නිදිග ආසියාවේ නැගී එන ආර්ථිකයේ හිමිකරුවා වීමට මියන්මාරය සමත් වූයේ ගලා ආ ආයෝජන නිසා වන නමුත් දැන් ජපානය හා ඇතැම් බටහිර රටවල් සිය ආයෝජකයන්ට හැරී එන ලෙස දන්වා ඇත. “අපේ ජපාන හවුල්කරුවා යන්න සූදානම්. මේ කම්හල් දෙකේ මියන්මාර ජාතිකයෝ 1500 ගණනෙ 3000ක් වැඩ කරනවා. අපි කම්හල් වසා දැමුවොත් ඒ හැමෝටම රැකියා අහිමි වෙනවා.  අපේ කම්හල් අවට යටිතල පහසුකම් පවා හැදුණෙ අපේ ආයෝජන නිසා. විදුලියවත් තිබුණෙ නැහැ ඒ පළාත්වල. තිබ්බ මිලිටරි ආණ්ඩුව අධ්‍යාපනය නොසළකා හැරපු නිසා හුඟක් මිනිස්සු නූගත්. හැබැයි දැන් ජනතාව මේ රෙජීමයට විරුද්ධව සටන් කරනවා. නමුත් මේ තත්ත්වය බලපාන්නේ දියුණු වෙමින් තිබුණු ආර්ථිකයට සහ අන්තිමේදී ජනතාවට”. Exchange-rate roulette

ඔහු පවසන අන්දමට මෙම කම්හල් දෙකෙහි සේවය කරන තවම රටින් පිටවීමට නොහැකි වූ ලාංකික ශ්‍රමිකයන් ගණන 30කි. ඔවුන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතූ විට පවසා තිබුණේ කරන්නට දෙයක් නැති නිසා ඉවසා සිටින ලෙසයි.  මියන්මාරයේ වෙසෙන බොහෝ විදෙස් ශ්‍රමිකයන් මේ තත්ත්වයට මුහුණ දී තිබීමද ආයෝජකයන් හමුවේ ඇති බරපතල ගැටලුවකි.

“අනික අපිට දැන් නිෂ්පාදන කරන්න රෝ මැටීරියල්ස් ගෙන්න ගන්නත් බැහැ. අපේ නිෂ්පාදන අපනයනය කරන්නත් බැහැ.  මොකද මිනිස්සු වැඩ වර්ජනය කරන හින්දා වරායවල් වහලා. දැන් ප්‍රඩක්ෂන් සීරෝ වී ගෙන යනවා. එක්කො මේක විසඳෙන්න ඕන. නැත්නම් ඉක්මනට රට වැටෙනවා. අපරාදෙ දියුණු වෙමින් තිබ්බ රට ආයෝජකයෝ වැඩේ අතහැරියොත් ඉවරෙටම ඉවරයි.” වසර කිහිපයක් මියන්මාරය ඇසුරේ දිවි ගෙවා ඇති ඔහුගේ අත්දැකීම් අනුව මේ තත්ත්වයට මිලිටරි පාලනය ඍජුවම වග කිව යුතුය.

“මියන්මාරයේ හිටියම ඒ මිනිස්සු මේ තාක් විඳලා තියෙන දුක දකින්න පුලුවන්. අපේ රටේ මිනිස්සුන්ගෙ තත්ත්වෙ ඊට වඩා හොඳයි. ස්වභාවික සම්පත් තියෙන රටක් අවුරුදු ගාණක් තිස්සෙ හමුදා පාලකයෝ කොල්ල කාලා. දැන් ආයෙම ඒක සිද්ධ වෙනවා.  හැම දෙයක්ම හමුදා ලොක්කො බෙදා ගනියි. ජනතාවට කිසිදෙයක් ලැබෙන්නෙ නැහැ මර්ධනය මිස. ඕනෑම රටක මිලිටරිය පාලනය භාර ගත්තොත් වෙන්නෙ ඕක තමයි. ඇත්තටම කියනවා නම් ආර්ථිකය මරා දැමීම තමයි” ඔහු අපැහැදිලි අනාගතය ගැන පුරෝකථනයක් සිදු කරයි. ඒ අතර මෙරට පැවති බීම්ස්ටෙක් සමුලුවට මියන්මාර මිලිටරි ජුන්ටාවට නිල වශයෙන් ආරාධනා කිරීමද කැපී පෙනේ.

 

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.