මිනිස්සුන්ගේ හොඳම යාලූවාගේ හොඳම යාලූවා. බලංගොඩ ටෝනි

එදවස අප මුණ ගැසුණේ අන් කටයුත්තකටය. “අපි ජයසිරියට ගිහින් තේ එකක් බොන ගමන්ම කතා කරමු මල්ලි.” ඒ ඇරයුම කජු කඩේ ටෝනිගෙනි. ටෝනිත් මාත් මේසයක දෙපස වාඩි වූයෙමු. ඔහු ඇණවුම් කළේ කිරි තේ දෙකක් සහ ටී බනිස් තුනකි. ඒ අපූරු ඇණවුම මා පුදුම ගැන්වූයේ තේ දෙකකට බනිස් තුනක් නොපෑහෙන බැවිනි. “ටී දෙකයි බනිස් දෙකයි අපි දෙන්නට. ඉතුරු බනිස මෙයාට.” ඔහු මගේ කුතුහලය සංසිඳුවීය. මේසය පාමුල ලැග සිටි බල්ලා තුන්වන බනිස වෙනුවෙන් ඇරයුම් ලැබ සිටි අමුත්තාය. ඒ සුනඛයාගේ හිමිකරු ටෝනි අයියා විය යුතුයැයි සිතා මා ඒ ගැන විමසුවෙමි. “නෑ මලේ මේ මට අයිති බලූ යාලූවන්ගෙන් එක්කෙනෙක් විතරයි. මේ තුඹගොඩ හන්දියේ කරක් ගහන හැම බල්ලම වගේ මගේ හිතවතෙක්. ගෙදරත් බල්ලො පස් දෙනෙක් ඉන්නවා.”
ටෝනිගේ පස්සෙන් කොයි වෙලාවක කොතැන ගියත් බල්ලෙක් පස්සෙන් යන්නේ එබැවිනි. ටෝනි අරුත්බර කරන්නේද අවුරුදු හතළිස් දහසක්වත් පැරණි මිනිස් සුනඛ මිත්‍රත්වයයි. නොදියුණු ප්‍රාථමික මනුෂ්‍යයා ඇසුරට බල්ලා පැමිණෙන්නේ ගින්දරෙහි උණුසුම හා ඉවතලන අහර භුක්ති විඳීමට යැයි සත්ව විද්‍යාඥයෝ හා පුරා විද්‍යාඥයෝ පවසති. උන් පෙරළා මිනිසාට දුන්නේ මිත්‍ර ස්නේහය හා සුරතලෙකුගේ ඇසුරයි. තනිකමට හා විඩාවට ඔසුවයි. අද ටෝනි වැනි මිනිසුන් පවත්වා ගෙන යන්නේද ඒ බලූ මිනිස් බන්ධනයයි.
නම එංගලන්තෙන්
කජු කඩේ ටෝනිගෙ හැබෑ නම ජයන්ත හෙන්දාවිතාරණය. ටෝනි යනු ඔහුම පවසන අන්දමට පෙට් නේම් එකකි. 1970 දී බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයේ මොන්ටිසෝරියට ගිය ඔහුගේ නම හසුරුවන්නට එය භාරව සිටි එංගලන්තයෙන් ආ කන්‍යා සොයුරිය අසමත් වූවාය. ඉදින් ඇය ඔහුට යෝජනා කළේ —අපි ඔබට ටෝනි කියලා කතා කරන්නම්˜ කියාය. ඉන්පසුව ටෝනි නමින් මුලූ බලංගොඩම ප්‍රසිද්ධ වූ ඔහු කතාකරන්නට නොහැකි බල්ලන් අතරද තමන්ගේ ශාන්තුවරයා ලෙස ප්‍රචලිතව ඇතැයි පරිකල්පනය කිරීම අසාධාරණ නොවේ. ටෝනි මුලින්ම බල්ලන් හා බැෙඳන්නේ ඔහුගේ මහගෙදර ඉදිකරන සමයේ ය. එවක කලූවා නමැති බල්ලෙක් නිවෙස ඉදිකරන වැඩබිමෙහි තනියට හුන්නේය. කලූවාට බත් කටක් දෙන්නට, නාවන්නට ඇගෑලූම්කම් පාන්නට ඉදිරිපත් වූ ටෝනි ඌ සමග ඇතිකරගත් දැඩි මිත්‍රත්වයේ ප්‍රථීඵලය වූයේ සමස්ත බලූ වරිගයා කෙරෙහිම අනුකම්පා සහගත ලෙංගතු සිතක් පහළ වීමයි. දැන් ඔහුගේ නිවසෙහි සුනඛ ධේනුන්ම පස් දෙනෙකි. නිවසේ ගේට්ටුව අසළට දිනපතා පෙරෙට්ටුවට එන බල්ලන් දොළොස් දෙනෙකි. එය දිනපතා ආහාරය උදෙසා වන පෙරෙට්ටුවකි. සාමාන්‍යයෙන් අප දකින්නේ බලූ පැටවෙකු ගෙදරක ඇති කරන්නට ඉදිරිපත් වන බොහෝ දෙනෙක් සුනඛයින්ගේ ස්ත්‍රීපුරුෂ සමාජභාවය කෙරෙහි සංවේදී නොවන බවයි. එම නිසාම බැල්ලි පැටවුනට අත් වෙන්නේ මහමග හෝ පන්සලක් වැනි ආගමික ස්ථානයක අතහැර දමා යාමයි. එහෙත් ටෝනි පවසන්නේ බල්ලන්ගේ බෝවීම වධයක් කොට සැළකීම නිසා බලූ සුරතලූන් අගයන පිරිස් පවා බැල්ලි පැටවුන් අත්හැර දමන බවයි. ඔහු සතුව බැල්ලියන්ම පස් දෙනෙක් සිටින්නේ වරින්වර උපන් පැටවුන් අතරින් බල්ලන් පමණක් හිතවතුන් විසින් භාර ගැනීම නිසාය. ඊට විසඳුම ලෙස දැන් ඔහු දකින්නේ ගැහැණු සතුන් වන්ධ්‍යාකරණ සැත්කම්වලට භාජනය කිරීමය. එමගින් ගහණය පාලනය වන අතර සතුන් නිරපරාදේ මරණයට පත්වීම වැළකෙන බවද ඔහුගේ අදහසයි.
“දැන් මගේ ගෙදර ඉන්න පස් දෙනාම සැත්කම් වලට ලක්කරපු අය. මගේ කඩේ ඉස්සරහා බැල්ලි පැටවෙක් හිටියත් මම කරන්නේ නියම වයසට ආවම අපේ පශු වෛද්‍ය මිස්ට කියලා වන්ධ්‍යාකරණයට භාජනය කරන එක.” ඔහු පවසන්නේ තමන් එසේ කිරීමට හේතුව මිනිසාගේ හොඳම මිතුරා වන බල්ලන්ගේ පැටවුන් ඉබාගාතේ ගොස් මහපාරේ මිය යනු දැකීම මහත් වේදනාවක් වන නිසා බවය.

අහේනි කාලෙක බල්ලන්ටත් ප්‍රශ්න.
ටෝනි මේ කියන්නේ මෝස්තරයට බල්ලන් ඇතිකරන උදවිය ගැන නොවේ. ටෝනිට අනුව දැන් කාලෙ මිනිස්සු බල්ලො ගැන බලන්නේ අඩුවෙනි. අවුරුදු විස්සකට තිහකට ඉහත තත්ත්වය බොහෝ වෙනස්ය. හැම ගම ගෙදරකම පාහේ බල්ලෙක් දෙන්නෙක් වූහ. උන්ට කන්නට යමක් දීම ගැමියා යුතුකමක් සේ සැළකුවේය. අද ආර්ථීකය ඒ පුරුදු වලින් ඈත් වන්නට මිනිසාට බල කරයි. තමන්ටත් කන්නට අසීරු කාලෙක සතුන් ගැන ආදරය ගිලිහී ඇති බව පවසන ඔහු අයාලේ යෑමෙන් බලූ ගහණය වැඩිවී තිබීමද ගැටලූවක් ලෙස දකියි. එහෙත් තමන්ගේ ගෙදරද ගෙය අවටද සිටින බල්ලන් සේම වෙළඳසැල අසළ සිටින බල්ලන් නම දෙනෙකුද පෝෂණය කිරීම ටෝනි සිය යුතුකම ලෙස සළකයි.
“ගෙදරයි අවටයි බල්ලන්ට කන්න දීලා ආවම කඩේ අරින කොට තවත් බල්ලො. උදේට උන් වෙනුවෙන් රුපියල් තුන්සියයක විතර බිස්කට් දෙනවා. බොන්න වතුර භාජනයක් තියලා තියනවා. අනේ ඉතිං මුන් හම්බ කරගෙන කන්නද?. මං දවසට තුන් වේලක් උන්ට කන්න දෙනවා. දවල් බත කඩේ ඉන්න මං උයලා දෙන්නයැ. අල්ලපු කෑල්ලෙ හෝටලෙන් කෑම ගන්න වැඩපිළිවෙලක් හදාගෙන තියෙන්නේ.” පෝය දවසට බල්ලන්ට සළකන්නට ටෝනි සතුව ඇත්තේ විශේෂ වැඩපිළිවෙලකි. ඔහු පෝයට සිය පියඹ හා එක්ව බල්ලන් වෙනුවෙන් විශේෂ කෑම වේලක් පිළියෙල කර දෙයි. එදින නිවසේත් අවටත් සිටින බල්ලන්ට අනිවාර්යයෙන් නාන්නට සිදුවෙයි. ඒ ටෝනිගේ තවත් විශේෂ සත්කාරයක් ලෙසය. මේ මුලූ බලූ ගහණය විසිහය දෙනෙකුගෙන් එකෙක් හැර අන් සියල්ලෝ නාවන්නට හැකි තරම් කීකරුය.
බලූ සැළකුමෙහි ගුණ ඇත.
ටෝනි පවසන්නේ මෙසේ බල්ලන්ට සැළකුම් කිරීමෙන් උන් නැටි වනමින් කෙළෙහි ගුණ දැක්වීමට අමතරව ලැඛෙන අවශේෂ ගුණද තිඛෙන බවයි. අපේ පැරැණියන් අපල සපල වන්නට දෙන්නට යැයි කියූ බලූ කපුටු දාන පිළිබඳව සිහිපත් කරන ඔහු පවසන්නේ තමන් දිනපතා එවැනි පිනක් සිදුකරන බවයි. මේ අසරණ සතුන්ට සැළකීමෙන් තමන්ගේ සිත සුවපත් වන අතරම කෙසේ හෝ ව්‍යාපාරද සාර්ථක වන බව ඔහු පවසයි. පසුගිය වසරේ ඔහු බල්ලන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් අසූ දහසකි.
“ජයන්තිය පාරෙ බල්ලෙක් වාහනෙක හැප්පිලා හිටියා. බඩවැල් එළියෙ. මං ප්‍රියංගිකා දොස්තර නෝනට කතා කළාම කෙනෙක් එව්වා. ඉතිං බල්ලට සිහිය නැති කරලා බඩවැල් ඇතුළට දාලා මහලා දවස් විසි එකක් නතර කරලා තියලා සනීප වුණා. මගේ බිල දහනමදාහක්. ඒත් අද මට සතුටුයි ඒ සතා ජීවත් වෙනවා දැක්කම.” එහෙත් ටෝනිට අනුව සමහර නරුමයින් සිතාමතා කරන දේවලින් සතුන් ගලවා ගැනීම අසීරුය. පසුගිය දිනෙක කුඹුරු පාගන බැවින් මස් වලට කුරේටර් මුසු කොට කන්නට දී බල්ලන් කිහිප දෙනෙකු මරා දමන්නට කිසිවෙකු ක්‍රියා කළ අවස්ථාවේ උන් ගලවා ගන්නට තමන් අසමත් වූ බව ඔහු වේදනාවෙන් පවසයි.
තමන්ගේ යතුරුපැදියේ හඩ පවා මනාව හඳුනාගෙන යන එන තැන පස්සෙන් එන බල්ලන්ගේ ලෙංගතුකම සතුටක් බව ටෝනි පවසන්නේ ආඩම්බරයෙනි.
තමන් සේම බලූ වරිගයා ගැන අනුකම්පාවක් ආදරයක් ඇති බිරිඳද තමන්ට බැරි අමාරු කාලයක මේ යුතුකම ඉටු කරන බව ඔහුට විශ්වාසය.
බල්ලන් සංහාරය කර ශිෂ්ටාචාරය ඔසවා තැබිය යුතුයැයි විශ්වාස කරන අයටද ටෝනි පණිවුඩයක් දෙයි. නිවෙස්වල ඇතිකරන සුනඛයින්ගෙන් පැටවුන් බෝවූ විට උන් බරක් ලෙස සළකා මහමගට ගෙනැවිත් දැමීම අවිධිමත් ලෙස ගහණය ඉහළ යාමේ හේතුවයි. එය වැළැක්වීමට කළ යුත්තේ බල්ලන් මැරීම හෝ උන් හා අප අතර ඇති ඉපැරණි බන්ධූතාවය අමතක කොට ඇතැම් ආසියාතික රටවල මෙන් මසට මැරීමට යෝජනා කිරීම නොවේ. වන්ධ්‍යාකරණ සැත්කම් මගින් ගහණය ඉහළ යෑම පාලනය කිරීමයි. රජයටද ඒ උදෙසා අතහිත දිය හැකිය. එමගින් ආරක්ෂා වන්නේ මහා සංස්කෘතික සම්බන්ධතාවයෙකි.
ලසන්ත ද සිල්වා.