මැතිවරණ පනත සංශෝධනය කළ යුතුයි – අස්ගිරි මහ නාහිමි

භික්ෂූන් ඡන්දය ඉල්ලීමෙන් ශාසනයත් රටත් දෙකම වැනසෙනවා
මහානායක හිමි මහින්දට පවසති
මැතිවරණවලට තරඟ කිරීම පිණිස භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා ලබාදිය නොහැකි ලෙස මැතිවරණ පනතට සංශෝධන ගෙනා යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පැවසූහ.
පවතින මැතිවරණ නීතිය පැරණි එකක් බැවින් ඊට සංශෝධන ගෙන එමින් අදාල කටයුත්ත කඩනිමින් කළ යුතුව තිබෙන බවද උන්වහන්සේ කීහ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (03) අස්ගිරි මහවිහාරයට ගොස් මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.
භික්ෂූන් වහන්සේ ඍජුව දේශපාලනයට යොමු වීමෙන් ශාසනය පිරිහීමට ලක්වන බවද අස්ගිරි මහනාහිමියෝ කීහ.
අතීතයේ මෙන්ම පාලකයින්ට දැහැමිව රට පාලනය කිරීම පිණිස අවවාද අනුශාසනා කිරීම මහ සංඝරත්නයේ කාර්යභාරය බවත් ඉන් ඔබ්බට ගොස් මහ සංඝරත්නය ඍජුව දේශපාලනය කිරීමට යාමෙන් විශාල පිරිහීමක් ශාසනය තුළ ඇතිවූ බවත් උන්වහන්සේ පැවසූහ.
මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේද මෙම අදහසම ප්‍රකාශ කළේ යැයි පැවසුවේය.
මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක අපේක්ෂකයින්ට මහනාහිමිවරු බැහැදැකීමට පැමිණිය හැකි වුවත් විහාරස්ථාන භූමියේ මාධ්‍යයට ප්‍රකාශ ලබාදීමට නොහැකි බවත් එය කළ හැක්කේ පන්සල් භූමියෙන් පිටත් බවත් මහින්ද දේශප්‍රිය මහතා කීය.