මාස දෙකක් මුහුදේ පාවෙමින් සිටි රෝහින්ගියානුවෝ
මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මුහුදේ පාවෙමින් තිබූ බෝට්ටුවක කුසගින්නෙන් පීඩා විඳිමින් සිටි රෝහින්ග්‍යා සරණාගතයන් අතරින් දිවි ගලවා ගත් අය මුහුදේ දී තමන්ට අත්විඳින්නට සිදු වූ ගැහැට අවාසනාව හා මරණය පිළිබඳ අත්දැකීම් රොයිටර් හමුවේ විස්තර කරති. මෙම බෝට්ටුවේ සිරව සිට දිවි ගලවා ගත් සිය ගණනක් පිරිමි, ගැහැනු හා ළමයින් එහි හැපී, තෙරපී ගමන් කිරීමට නොහැකිව, වැස්සෙන් හා හිරු රශ්මියෙන් විඳි පීඩා විස්තර කළහ. ආහාර හා ජලය හිඟ වන විට ඔවුන් සාගින්නෙන්, පිපාසයෙන් පෙළුණු අයුරු හා එකිනෙකා සමඟ ඇති කර ගත් ගැටුම්වලින් ද පහරදීම්වලින් ද මිය යන්නට පටන් ගත් බව පවසති.
බංග්ලාදේශ බලධාරීන් කියා සිටියේ අවම වශයෙන් මෙම පිරිසෙන් 382 දෙනෙකුවත් බේරා ගත් අතර මැලේසියාවට ළඟා වීමට උත්සාහ කරමින් සිට ඇති මෙම බෝට්ටුවේ සිටි පිරිසෙන් 20කට අධික පිරිසක් මරණයට පත් වී ඇති බව ය.
වාර්තා සඳහන් කරන්නේ කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් මෙම බෝට්ටුවට සිය රටට පැමිණීමට ඉඩ නොදී මැලේසියාව විසින් ආපසු හරවා යවනු ලැබ ඇති බවකි.
බෝට්ටුව මැලේසියාවට ළඟා වීමට අපොහොසත් වීමෙන් හා අප්‍රියෙල් මස මැද භාගයේදී බංග්ලාදේශයට ආපසු යාමට පෙර සති ගණනාවක් තිස්සේ බියෙන් තැතිගත්, කුසගින්නෙන් හා කම්පනයට පත්වූ දිවි ගලවා ගත් 400 ක් පමණ දෙනා මෙහි වූ බව වාර්තා වේ.
ගිනිකොණදිග ආසියානු රජයන් නව කොරෝනා වෛරසය වළක්වා ගැනීම සඳහා දේශසීමා ආරක්ෂාව දැඩි කර ඇති බැවින් හා වසා දමා ඇති බැවින් තවත් සිය ගණනක් සරණාගතයින් වෙනත් ට්‍රෝලර් යාත්‍රා දෙකක සිර වී සිටිතියි ද වාර්තා වේ.
බෝට්ටුවලට ගොඩබෑමට ඉඩ දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මැලේසියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මැලේසියාවේ සරණාගත විරෝධී හැඟීම් ඉහළ යමින් පවතින අතර ආණ්ඩු පවසන්නේ කොරෝනා වෛරසය වළක්වා ගැනීම සඳහා තමන් දේශසීමා මුද්‍රා තබා ඇති බව ය.