මාසෙකට කාබනික පොහොර ටොන් 100 ක් දෙනවා – මහනුවර මහ නගර සභාව

මහනුවර මහ නගර සභාව මගින් කටුගස්තොට තේක්කවත්ත කසළ අංගනයට දෛනිකව බැහැර කරනු ලබන ටොන් 110 ක් පමණ වන කැළි කසළ වලින් මාසිකව කාබනික පොහොර ටොන් 40 ක් මේවන විට නිෂ්පාදනය කරන බවත් එම ධාරිතාව ටොන් 100 ක් දක්වා ඉහළ නැන්වීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගම‍ගේ මහතා පවසයි.

වගා කටයුතු සඳහා කාබනික පොහොර යෙදීමට රජය ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීරණය සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදීමේ අරමුණින් කටුගස්තොට ගොහාගොඩ කසළ අංගනයේ කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැන්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීම සඳහා පෙරේදා (03) එහි ගිය අවස්ථාවේ ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේය.

කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබාදී තිබෙන ප්‍රමිතියට අනුකූලව ඒවා නිපදවීම ඉතා වැදගත් බවත් මේ නිසා තේක්ක වත්ත කසළ අංගනයේ නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොරවල ප්‍රමිතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාකදුරේ පිහිටි තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන පුහුණු ආයතනය තුළදී පරික්ෂාවට ලක්කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මහනුවරට අමතරව මධ්‍යම පළාතේ කෘෂිකාර්මික වගාවන් සඳහා මෙම පොහොර යොදා ගැනීමට අපේක්ෂා කරන බවද ආණ්ඩුකාරවරයා කීය.

මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා මහනුවර පුරපති කේසර සේනානායක,විපක්ෂ නායක සේන දිසානායක,පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *