මානාවෙන් නැගෙන ගිනි

“දිරාපු යකඩ,
දිරාපු තහඩු,
පරණ කේතල්,
පරණ පෙට්ටි,
පරණ මුට්ටි,
පරණ හට්ටි,
පරණ බෝතල්
කැඩුණු ප්ලාස්ටික් පුටුවලට දෙනවා අපි බේසම්……..
ඩිමෝ බට්ටා ලොරිවලින් එලෙස ප්‍රචාරය කරමින් ඔබේ ගමට එන්නන් ගැන ඔබට මතක ඇති. ඇතැම්විට ඔබ විකුණාගත හැකියැයි කිසිවිටෙක නොසිතන දේවල් මෙන්ම, නිකම් දෙන්න හෝ විසි කර දැමීමට සූදානම් දෑද ඔවුහු මිලට ගනිති. එම අබිලි දෑ සියල්ල ඔවුන් ගෙන යෑමේදි ඔබ සතුටට පත් වෙනවා ඇත. එහෙත් ඔවුන්ගේ ජිවිතවල ඇතුළාන්තය බැලුවහොත් එම ජීවිතකතා සුන්දර නැත.
මේ එවන් එක් ගම්මානයක වත්මන් තතුය. අද එහි ජීවත් වන්නන්ගෙන් කොටසකට ජීවත් වීමට අවැසි මූලික අයිතීන්වත් නැති සෙයකි. ගමේ සියයට 90ක් පමණ මුහුණ දෙන්නේ ජල ගැටලුවටය. නිවාස හා වැසිකිළි ප්‍රශ්නය එයින් කොටසකට උග්‍රය. කටුමැටි ගැසු සාරිවලින් වටකරගත් නිවෙස් හා කැලෑවැදි වැසිකිළි යන ජන කොටසක් එහි සිටි.
21 වැනි සියවසෙත් තුන්වැනි දශකයේ සිටින අපට මේවා අරුමැසිය. සුහුරු තාක්ෂණයෙන් ලොව දිනෙන කලෙක තවමත් එසේ ඇතිනම්? කොතනක හෝ තැනක වරදක් ඇත්තේය. එය කොතනද? ඉදින් මේ ඒ සදහා වෑයමකි.
අපේ කතානායකයන් මානාවේය. එය ඇත්තේ කුලියාපිටියේය. මතක තබා ගන්න. මේ ලංකාවේ වැඩිම ඩිමෝ බට්ටා ලොරි ඇති ගමය. එය සියයක් පමණ වෙතැයි තතුදත්තෝ කියති.
මානාවේ ජන විකාශනයේ ඉතිහාසය
මානාවේ පැරැන්නන් ඉතාම ප්‍රචලිත දක්ෂ වෙදැදුරන්, හා කට්ටඩියන්ය. මීට දශක පහ හයකට පෙර ඔවුන්ගෙන් පවුලක් තැන තැන සංක්‍රමණය වෙමින් යන අතරතුර කුලියාපිටිය දරණිගොල්ලට ආවේය. කෙටිකලක් එහි විසු ඔවුහු පවුල් දෙකක් වී තල්ලියද්දට ආවෝය. තවත් ටික කලකට පසු මෙම වත්මන් භුමි ප්‍රදේශයට පැමිණියහ. කල්යෑමේදි පවුල් පහ හය වී මෙහි ස්ථිරව වසන්නට පටන් ගත්හ. පසු පරම්පරාවන් සාමාන්‍ය සමාජයට හුරුවූහ. ඒ සමග පාරම්පරික ශිල්පීය දක්ෂතා අභාවයට ගියේය. වර්තමානිකයින්ද ඒවා ගැන කිසිදු උනන්දුවක් නැත්තන්සේය. දැන් ඔවුන්ගෙන් සියයට 75ක් පමණ කරන්නේ පෙරකී අබිලි දෑ එකතු කිරීමය. එනිසාමදෝ ඒවා කරන අයගේ ජිවිතත් අබිලි දෑ සේය.
ළගාකරගත නොහැකි සිහින නොදකින ජීවිත
මානාවට ආවිට මුලින්ම දකිනුයේ ඉතා හොදින් සැදුනු නිවාසය. ඒ නිවාස පහුකර යනවිට තැන තැන ගමෙහි අන්ත අසරණම මිනිසුන් සිටින පැල්පත්ය. ඒවායින් කොටසක් කටුමැටිය. ඒවාගෙන් සමහරක කටුමැටි බෝල ගැලවිලාය. ලොකු කුහරැති ඇතැම් තැන්වලට ඉටිරෙදි හෝ සාරි කෑලි ඇදලාය. නැත්නම් පරණ තහඩු කෑලිය. වහල පොල්අතුය. එක්කෝ දිරාගිය තහඩු පතුරුය. මේ සියල්ල අව්වට වැස්සට යම්තම් නොතෙමි ඉන්න යම්තමින් ප්‍රමාණවත්ය. මේවායේ දැන් බිම උල්දිය දමලාය. එබදු නිවාස 40ක් 50ක් පමණ එහි වේ. එවන් නිවාසවල සිටින්නෝ රජයෙන් දුන් නිවාස තමන්ටත් නොලැබීම සම්බන්ධව නෝක්කඩු කියති.
“කවුරුත් එනවා. ඇවිත් බලල යනවා. එච්චර තමා…
මේ අවලෑදි නැගුවේ තරුණ මව්වරුන් පිරිසකි. ඔවුන්ගේ නිවාස තාවකාලික මඩුය.
මේ එවන් එක් නිවෙසක තතුය.
‘‘. පයින් පාරක් ගැහුවොත් බිත්ති වැටෙනවා. වැස්සට තෙමෙනවා. ළමිස්සියක් ඉන්නේ මට
ඒ හඩ ලසන්ති සදමාලි තරුණ මවගේය. ඔවුන්ගේ කටුමැටි ගැසූ ගෙපැල පෙර පාසල අසලමය. එහි වැස්සකට යම්තම් නොතෙමි සිටීමටනම් ප්‍රමාණවත්ය. එ නිවසේ තිබු එකම ගෘහ භාණ්ඩය වේවැල් පොත් රාක්කයකි. අඩි දහයක්වත් දිග පළල් නැති උල්දිය දැමූ කාමරයේ ඉවීම පිසීම හා නිදියෑම සියල්ල සිදුවෙයි. සැමියා පරණ යකඩ දෛනික කුලී පදනමට එකතු කරන්නෙකි. ජල හා වැසිකිළි ප්‍රශ්නය බරපතලය.
දෙදරු මවක වූ ස්වර්ණා මල්කාන්තිගේ පුංචි පැල්කොටය අවුරුදු 25කට වඩා පරණය. වැඩිමලාවූ දුව විවාහකය. බාලයාට විස්සකි. සැමියාත් පුතාත් දෙදෙනාම රැකියා නැති නිසා මුදලාලිලාගේ ලොරිවලින් දවස් පඩියට යකඩ බිස්නස්ය. ඔවුන්ගේ ජීවිත වටා බැදුනු කතා ඇගේම වදනකින් දෙකකින් මෙසේය.
“ එයාලත් වැඩට යනවා. ණය වෙනවා. එනවා. මං තැලසීමියා වාහකයෙක් කියලා කියන්නේ. මාසෙන් මාසෙට ලේ දෙනවා. දැන් බේතුත් හරි ගණන්.
අපිට වතුර නැහැ. පායන කාලෙට වතුර හොයාගන්න හරිම කරදරයි. කාලෙන් කාලෙට කවුරුහරි ලොකු උදවිය ඇවිල්ලා ෆෝම් කොළ පුරවනව, අරක මේක අහන් යනවා. අපි හැමදාම එකම තැන. අර ගෙවල් දෙද්දින්වත් අපි ගැන බැලුවේ නැහැ. ගෙදර බඩුවක් මුට්ටුවක්වත් තියා ගන්න නැහැ කුඩුකාරයෝ හැමතැනම…ඒ ජිවිත වටා දුක තැවරී ඇති අන්දමය. ජල ව්‍යාපෘතියේ ජල ටැංකිය මේ නිවෙස් ඉදිරිපිටය. ඒ දෙස බලා හූල්ලමින් කළගෙඩි රැගෙන වතුරඇති නිවෙස් කරා යති.
රජයෙන් ලැබුණු නිවාසවල දැන් හැටි
මේ ගමේහි පවුල් 196කි. නිවාස 190කි. එහි රජයෙන් සෑදු නිවාස 40 කි. ඉන් 35 ක මිනිසුන් පදිංචිය. නිවාස 05ක වැඩ අවසන්ව නැත. අවසන්ව නැති නිවාසවල වැසියන් අසරණකම නිසාම අධික පීඩාවෙනි. උළුවසු වැස්සට අව්වට දිරමින් තෙමෙමින් තිබෙයි. ඒනිසා ඉකුත් තුන් වසරක් තිස්සේම එසේය. එම නිවාස තුළ මිනිස් උසට කැලෙත් වැවිලාය. ඔවුන්ගේ ජිවිතකතාවලට එබී බැලු කල්හි ඒ කතාවන්හි දුක අපමණව තැවරීලාය.
‘‘ගෙයි බිත්ති වහලේ උසට නග්ගලා වහලේ ගහන්න සල්ලි ගන්න බැංකුවට ගියා. එතකොට ආණ්ඩු මාරු වෙලා. දැන් සල්ලි නැහැ කියනවා. අපිට ගේ හදාගන්න විදියක් නෑ. හිටපු ගේත් කැඩුවා. තව කීයක් හරි ඇති. ඒක ගන්න විදියක් දන්නේ නැහැ.
‘‘ හොයාගන්න එළියට යන්න විදියක් නැහැ අසනීපයි. මහත්තයත් අසනීප කාරයෙක්. එයා ටවුමේ සපත්තු කුඩ මහනවා. ලොකු දුව අවිවාහකයි. ලොකු පුතාගේ පුතෙක් මං හදා ගන්නවා එයාට අවුරුද්දේ ඉදන්. දැන් එයාත් එකොළහ වසරේ. ඒ සිවුදරු මවක් වු කේ. දයාවතීගේ හඩයි.
එකම බෝට්ටුවේ වැටුණු ජීවිත.
‘‘ දැන් හදාපු ගෙදර වහලේ හදාගන්න තියා මේ වෙලාවේ කන්නවත් නැතිව ඉන්නේ. ඒකයි ඇත්තම කතාව. මහත්තයා දවස් පඩියට යකඩ එකතු කරන්න ලොරිවල යනවා. ඒ අතදරුවකුගේ මවක වු මනෝරි ඒකනායකගේ හඩය.
නිමේෂිකා ජයලත්ටද නව නිවසක් ලැබිලාය. වහලයට මුදල් නොලැබුණද ක්ෂුද්‍රමූල්‍ය ණයක් ගෙන වහලය ගසා ඇත. පවුල් 05ක් පමණ එවන්ලෙසින් වහලය ගසාගෙගන ඇත. වැසිකිළි හා ජල ප්‍රශ්නය ඇයටත් තදින්ම බලපායි.
වැසිකිළි යෑමට කැලේ වදියි
ගමෙහි නිවාස 30කට වැසිකිළි නැත. ඇතැමෙක් නිවසින් මීටර දෙතුන් සියයක් දුරින් වැසිකිළි ඇති නිවසයකට ‘අවසර පිට‘ යති. ඒ හැර වැසිකිළි නැති බොහෝ දෙනා අහළ පහළ ඇති කැලෑ රොදකට යයි. වැසි දිනවල මෙන්ම රාත්‍රියේදි මෙන්ම දැරියන් මල්වර වු පසු මෙම තත්ත්වය තවත් අසීරුය. වැව ආසන්නයේ සිටිනා අය වැව් පිටියටය. එයින්ම ස්නානය කරන්නන්ද ගමේ එමටය. මිලට නොගියන අබිලි දෑද දමන්නේ වැවටය. එහි වතුර අපිරිසිදුය. දැඩි කලු පැහැතිය.
පාසල පිටුපස ඇති ඉඩම වසර තුන හතරකට පෙර ඒ අවට වසන්නන්ගේ ප්‍රධාන වැසිකිළි තිත්පොලව තිබුණකි. පාසලේ දෛනික කටයුතු කරගැනීමටවත් නොහැකි තරමට දුරදිග යන තත්ත්වයක තිබු බැවින් එවකට සිටි විදුහල්පතිවරයාගේ නොමද කැපකිරීම් නිසා එම තත්ත්වය කෙටිකලකින් නැවතී ඇත.
වහලක් නැති ගෙයි හිමිකාරිනිය වු කේ.දයාවතීගේ පරණ නිවසට අයත් වැසිකිළියේ බිත්ති තුනක් දැනට ඉතිරිව ඇති අතර බිම වල්බිහිව ජාරාවාසව ඇත. පවුල් පහ හයකම පොදු වැසිකිළියක වු නිසා ඉක්මනින්ම “වළ පිරී ඇත. එය දැන් අතැර දමාය. බාගෙට හැදූ අලුත් නිවසේ වැසිකිළි කාමරයක් ඇතත් වළක් නැත. “ඉතිරි සල්ලිත් නැති කොට වෙන මක් කරන්නදැ‘යි මා ඇසුවකට පෙරළා විමසුවාය. ඇයගේ නිවස අවට ගෙවල් දහයකටම තවමත් වැසිකිළි නැත. පෞද්ගලික වැසිකිළි පවුල් පහ හයක් භාවිත නිසා එවන් පොදුවු වැසිකිළි ඉක්මනින් පිරීම තවත් ගැටලුවකි.
වතුර ටිකත් සළාකෙට
මේ ගමේ නිවාස හෝ වැසිකිළි ඇති නැති සියල්ලන් මුහුණ දෙන උග්‍රම ප්‍රශ්නය ජල ප්‍රශ්නයයි. ගමටම ඇත්තේ ළිං දෙකතුනකි. එවන් ළිදකින් පවුල් 10ත් 15ක්වත් ජල අවශ්‍යතාව සපුරා ගනිති. රාජ්‍ය නොවන සංවිධානයකින් වසර තුනහතරකට පෙර ලැබුණු ළිං දෙකක් එහි වන අතර එකක් වැඩ නැත. පවුල් දහයක් පමණ වැඩ කරන නළ ළිදෙන් ජලපහසුව ලබා ගත්තද සෙසු පවුල්වලට එම වාසනාව හිමි නැත. ළිං ඇති ඇතැම් පිරිස් ළිං ඉක්මනින් සිදේවිය යන කල්පිතය මත සළාක ක්‍රමයට වතුර ලබා දෙති. එය සාධාරණය. ගල්තලාවලින් පොළොව උඩත් යටත් ගහණ මෙහි ළිං සෑරීම අභියෝගයකි. බොහෝ පවුල්වලට වැසි දිනකට ලැබෙන්නේ කළගෙඩි දෙකක වතුරකි. පායනා කාලෙට ජල ගැටුම් එමටය.
ජලප්‍රශ්නය විසදීමට මෙයට පෙර කළ උත්සහයක් ගැන කීවේ ඒ සදහා මූලිකව උනන්දු වූ පී රණවීරය …
දයාසිරි මැතිතුමා මහ ඇමති කාලේ ළිදකුයි ලොකු ටැංකියකුයි හදලා ගමටම වතුර දුන්නා. මාස දෙකක්වත් දෙන්න බැරිවුණා. ගමේ අයගේ ජල අවශ්‍යතාව තරමට ප්‍රමාණවත් තරම් වතුර නොතිබුණු නිසා කෙටි කලකින්ම ළිද හිදුනා. .තවත් ළිදක් හදලා අර ටැංකියටම සම්බන්ධ කරොත් මේක විසදිය හැකි වෙයි කියලා දැන් අපිට හිතෙනවා.
ගමේ සමහර කාන්තාවන් කිලෝමීටරයකට වඩා යනවා කළගෙඩි අරන්. ගමේ ළිංවල වතුර කොහොමටත් බොන්න සුදුසු නැහැ. ඒ නිසා හැකි අය ජංගම රථවලින් මුදලට බොන්න වතුර ගන්නවා.
ළමා විවාහ වැඩි වෙයිද,
අප යන දිනයේ ගමේ පාසලේ විදුහල්පති නොසෑහෙන්න අවුලෙනි. හේතුව මෙවර සාමාන්‍යපළ විභාගයෙන් වැඩිම සමත්කමක් දැක්වීමට සිටි සිසුවිය පෙම්වතකු හා රහසේ ගමෙන් පිටමන් වීමයි. ඔහු තොරතුරු දීම ප්‍රතික්ෂේප කළේය. ඇය සිටි පන්තියේ දරුවන් කීවේ හත වසරේ සිට දැරියන් පස් දෙනෙකුම මෙසේ ගොස් දැන් පවුල් වී ඇති බවය. නාරම්මල පොලිසියේ කාන්තා හා ළමා කාර්යංශයද ගමේ රාජළු නිලධාරීන්ද එය තහවුරු කළේය.
කුල මල ජාති ආගම් බේද නිසා ඇණ කොටාගන්නා වත්මන් සමාජ වපසරිය තුළ එවන් නිර්ණායක නිසාම සමාජ අසාධාරණයට ලක්වීම් හෝ ගැරහීම් ගැන නිරතුරුවම අසන්නට දකින්නට ලැබේ. මෙය එසේ වීමක්ද? නොඑසේනම් වෙනත් ගැටලුවක්ද? මේ රාජ්‍ය නිලධාරින්ගේ මතයයි.
පල්ලියේ සේන සංජීව පියතුමා
ගමේ බහුතරයක් ඩේලිකලෙක්ෂන් ලෝන් අරන්. හොයන සතේ පහුවදාට ලෝන්වලට ගෙව්වාම ගෙදර වියදමට මදි වෙනවා. ඒත් ඇතිහැකි පවුල් කීපයක් මෑත දශකයේ ලොකු දියුණුවකට ගම ගෙනියන්න හදනවා.
නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් අධ්‍යක්ෂක එන්.කේ.බී එස්. නරසිංහ
2018 ඔක්තෝම්බර් මුල දි අපි පටන් ගත්තේ මාස 06 කින් අවසන් වෙන ලෙසින්. නිවාස 40ක් අනුමත කරලා ආධාරයක් ලෙස රුපියල් ලක්ෂ 05 බැගින් ලබා දුන්නා. උනන්දුව තිබුණ අය ඉක්මනින් වැඩ ඉවර කරගත්තා. පහුවෙලා වැඩ පටන් ගත් අය 2019 අග දක්වාම ඒවාගේ වැඩ ඉවර කළේ නැහැ. දැන් ප්‍රශ්නය තියෙන්නේ එවන් අය දහ දෙනෙකුට පමණ. ඒ අය නිසි වේලාවට කටයුතු නොකළ නිසා ඉතිරි මුදල් ආපසු ගියා. නැවත ලැබුණේ නැහැ. ඒ වගේ ගම්මාන ඉදිකිරිම් තාවකාලිකව නතර වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයට පමණක් ඒ වසරෙවල අවසන් නොවු ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 1300ක් ලැබිය යුතුයි.
ඔය තත්ත්වෙට හරි ගෙවල් ටික ගෙනාවේ අපි නිසයි.
තල්ලියද්ද වසමේ රාජ්‍ය නිලධාරීහු නිවාස ව්‍යපෘතියට සිය දායකත්වය මෙසේ දක්වා ඇත.
එවක ප්‍රාදේශිය ලේකම්වරියගේ උපදෙස් පිට ග්‍රාමිය කමිටුවක් සාදා එයට ගමේ රාජ්‍ය නිලධාරින් හා ගමේ වගකිවහැකි පිරිස්වෙත බලය ලබා දී නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. නිවාස 40ටම අඩු මිලට සිමෙන්ති හා යකඩ සපයා ඇත්තේ ජාතික ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවය. ඒ නිවාස සංවර්ධන අධිකාරිය සම්බන්ධිකරණයෙනි.
වැලි, ගඩොල්, කලුගල්, උළුවහු සාධාරණ මුදලකට සැපයිය හැකි ව්‍යවසායකයින්ගෙන් අදාළ ඉදිකිරීම් අදියර ක්‍රමයට අවසන් වු පසු මුදල් ගෙවීමේ ක්‍රමයට ලබාගන ඇත. ඒ කමිටු නිලධාරීන්ගේ මැදිහත්වීම මතය. එමනිසා ඊට අදාළ මුදල් බැංකුවෙන් ලබා දුන් දිනම නිවෙස් හිමියාත්, ව්‍යවසායකයාත් රජයේ
නිලධාරිනුත් ඉදිරියේ එම ගණුදෙනු පියවා ඇත. ඒ සියල්ලන් එකම ස්ථානයකදී රැස්වීමෙනි. උළුවහු ජනෙල් ලබාදුන් නිෂ්පාදකයාට තවමත් මුදල් ලබා නොදි ඇති නිසා ඔහු නිලධාරින් වෙත නෝක්කඩු කියමින් සිටී.
නිවෙස් හිමියන්ගේ ගිණුම්වලට මුදල් ලැබුණද බැංකුපොත් තිබි ඇත්තේ රාජ්‍ය නිලධාරීන් අතය. බැංකුවේ සිට මුදල් ගමට ගෙන එනතුරුවත් නිලධාරීන්ට තිබී ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි. එලෙස සල්ලි පාලනය නොදී ඇත්තේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට දැඩිලෙස ගම්මානය ලක්ව ඇති නිසාය. මුදල් පාලනය තම අතට නොපත් වීම ගැන නිවෙස්ලාභින්ගේද නොපහන් බවක් ඇත්තේය.
කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් ඩී පී. එස් කුමාර
බාල වයස්කාර විවාහ නිසා මව්පියන්ට විවාහ සහතික නැහැ. ඇතැම් දරුවන්ට උප්පැන්නත් නැහැ. අඩු වයසින් පාසල් හැරයන පිරිස්, ළමා මව්වරුන් වැඩිවීම් වැනි ගැටලු තියෙනවා. ඔබ මේ විමසන අවස්ථාවෙත් අපේ කණ්ඩායමක් නොවිධිමත් අධ්‍යාපන කාර්යාලය හා එක්ව ගමට ගිහින් ලියාපදිංචිකිරීම් ඇතුළු වැඩසටහනක් කරනවා. අපට යොමුවන හෝ අපේ නිලධාරීන් දැනගන්න ගැටලු ගැන අපි මැදිහත්වීම් වෙනවා.
මානාව ගැන කලක් තිස්සේ සමීක්ෂණ සිදුකළ නිලධාරියකු මානාව ගැන කීවේ මෙවැන්නකි.
ගමේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය දැඩිව තියෙනවා. ගමේ පිරිසක් දැන් මේකට විරුද්ධව ඉන්නවා. කොටසක් මේ ප්‍රශ්නය මතු වෙනවාට කැමති නැහැ. බලපෑම් නිසා කවුරුත් කතා කරන්න මැලි වෙනවා. විකිණීම, අලෙවිය ජයටම වෙනවා. හවසට බලන්න ඕනා පිටතින් එන මිලදී ගන්නන් එන පිරිස්. ඇබ්බැහිවුණ පවුල්වල පිරිමි වැඩිහරියක් වාරියපොල බන්ධනාගාරයේ හිටියේ මම ඉදපු කාලේ. ව්‍යාපාර ලෙස කරන තෝරු මෝරු ඉතිරි වෙනවා. හාල්මැස්සන් අහුවෙනවා. පොලීසිය මෙතනදි හරියටම වැඩ කළානම් මේක මෙලාහකට නැවතිලා. ඒ අයටත් චෝදනා තියෙනවා අල්ලස් ගැනීම් ගැන.
නාරම්මල පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසුවේ ගමෙහි ‘‘ අවැසි තොරතුරු සියල්ල පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ගන්නා ලෙසිනි.