මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ගේ වෘත්තිය කාර්යය අවහිර කිරීම හෙළා දකිනවා- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

හිරු,දෙරණ හා ස්වර්ණවාහීනි  රූපවාහිනී නාළිකාවල ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් මහතා 2020 මැයි 24 වැනිදා කොවිඩ් වසංගතය පැතිර යාම හේතුවෙන් ආන්දෝලනයට තුඩු දුන් අටලුගම ප්‍රදේශයේ ජනයා රාමසාන් උත්සවය සමරන ආකාරය වාර්තා කරන අවස්ථාවේ කිසියම් පිරිසක් ඔහු බිය වද්දමින් තර්ජනය කරන අන්දම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය.
එදින ඔහු සිය වාර්තාකරණ කාර්යයන්ට එහි ගොස් තිබුණේ ප්‍රදේශයේ දේවස්ථානයක පාලක මණ්ඩලය හා එහි සභාපතිවරයාගේ ඇරයුමෙන් බවද, එහි අරමුණ සති කිහිපයකට පෙර පූර්ණ වශයෙන් නිරෝධායනය කර තිබූ ප්‍රදේශයක ජනයා සිය ආගමික වතාවත් ඉටු කරන ආකාරය වාර්තා කිරීමට බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එහිදී බහුතර ජනයා ඔහු හා සුහදව කටයුතු කරද්දී කිසියම් කණ්ඩායමක් මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන්ගේ රථයටද හානි සිදු කරමින් පහර දෙන්නට තැත් කිරීම හා ඔහු පටිගත කළ දර්ශන රූපවාහිනී මාධ්‍යවල ප්‍රචාරය කළහොත් ඔහු ගැන බලා ගන්නවා යැයි කියමින් තර්ජනය කිරීමද කිසිසේත් සිදු නොවිය යුතු බරපතල තත්ත්වයක් ලෙස සළකන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්   නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. 

එම නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ, “ඇතැම්විට පසුගිය සමයේ සමහර මාධ්‍ය වාර්තා මගින් අටලුගම ප්‍රදේශවාසීන් පිළිබඳව පුරවැසියා තුළ සැක සංකා ඇතිවන ආකාරයෙන් කළ වාර්තා කිරීම් නිසා මේ පිරිස මෙසේ හැසිරුණා වන්නට පුලුවන. එහෙත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දකින්නේ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ වන එවැනි ගැටලු පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ මගින් මිස තර්ජනය කිරීමෙන් හෝ මාධ්‍යය අවහිර කිරීමෙන් විසඳා ගත නොහැකි බවයි.” යනුවෙනි.

ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේදී ජනමාධ්‍ය හා පුරවැසියා සිටිය යුත්තේ එකම වේදිකාවක වන අතර බලයේ සිටින පාර්ශව තර්ජනාත්මක ලෙස හැසිරීමේදී එය අතිශයින් වැදගත් වේ. එවැනි පසුබිමකදී මාධ්‍යවේදි බිමල් ශ්‍යාමන්ට මුහුණ දෙන්නට සිදු වූ තත්ත්වය කිසිසේත් සිදු නොවිය යුතු බව අදහස් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදුවීම හෙළා දකින බවද මෙම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් බිමල් ශ්‍යාමන්ට යුක්තිය ඉටු කරන මෙන් අදාල පාර්ශවවලින් ඉල්ලා සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නේ වඩාත් වෘත්තීයමය පසුබිමක සිය කාර්යයන්හී නිරතවීමට මාධ්‍යවේදීන් සවිබල ගන්වන ලෙසයි යනුවෙන්ද දන්වා සිටී.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *