මාධ්‍යවේදීන් නිහඬ කිරීම දේශපාලන අපරාධකරුවන්ගේ උපායක්. කලු ජනවාරි සැමරුමේදී මාධ්‍යවේදීහූ කියති.

 මාධ්‍යවේදීන් නිහඬ කිරීම දේශපාලන අපරාධකරුවන්ගේ උපායක්. කලු ජනවාරි සැමරුමේදී මාධ්‍යවේදීහූ කියති.

dav

අපරාධකාරී දේශපාලනඥයින්ගේ ගොදුරු බවට පත් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු වීම හා අනාගතයේ සියලු මාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවේශයක් අවශ්‍ය බව අද (28) කලු ජනවාරි සැමරුමට එක් වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩාවත්ත ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පුවත් ආයතන ශ්‍රවනාගාරයේ පැවති කලු ජනවාරි අනුස්මරණ වැඩසටහන මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූ අතර එහි අරමුණ සිය වෘත්තීය කාර්යයේ නියැලීම සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිට ඝාතනයට ලක් වූ, ප්‍රහාරයන්ට ගොදුරු වූ හා විවිධ අන්දමේ තාඩන පීඩනවලට භාජනය වූ වින්දිත මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීමේ අරගලයට ජවය සැපයීම සහ අනාගතයේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව උදෙසා වන කතිකාව ගොඩ නගා ගැනීමයි. ඒ අනුව මෙවර කතිකාවේ තේමාව වූයේ “මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා සාමූහිකව පෙරට” යන්නයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී. දොඩාවත්ත පැවසුවේ, පුත්තලමේ මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණමාල් පසුගිය දෙමස තුළ දෙවරක් ජාවාරම්කරුවන්ගේ පහර දීමට ලක් වූ අතර එවැනි තත්ත්වයක් වර්ධනය වීම මාධ්‍යකරුවන් අකර්මන්‍ය කිරීමට හේතුවන බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකා නීතීඥ රමණී මුත්තෙට්ටුවේගමද මෙවර කලු ජනවාරි සැමරුම් කතිකාවට එක් වූ අතර අදහස් දක්වමින් සඳහන් කළේ ගැහැටට ලක්වන මාධ්‍යවේදීන් වෙනුවෙන් අපේක්ෂිත යුක්තිය ඉටුවන බවක් දකින්නට නොලැබෙන බවයි. පැවති රජයද පොරොන්දු වූ යුක්තිය ඉටු නොකළ බව ඇය සඳහන් කළාය. එවැනි තත්ත්වයක් තුළ මාධ්‍යවේදීන් කළ යුත්තේ අධිකරණය හමුවේ සිවිල් නීතිය තුළ නඩු ගොනු කර යුක්තිය ඉටු කර ගැනීම බවද නීතීඥ රමණි මුත්තෙට්ටුවේගම මෙහිලා පැවසුවාය.

මාධ්‍ය සංවිධාන එකමුතුව වෙනුවෙන්, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම් ධර්මසිරි ලංකාපේලි, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්, මුස්ලිම් මාධ්‍ය සංගමයේ සාමාජික ජාවෙඩ් මුනව්වර්, දෙමළ මාධ්‍ය සංසදයේ නික්සන් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ශාලික විමලසේන ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *