මාධ්‍යයට එරෙහිව පොලීසි ගිය කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ, තොරතුරු අයිතියට පයින් ගසයි.

rata.lk වෙබ් අඩවියේ පළ කළ පුවතකට  අදාල මූලාශ්‍ර හෙළිකරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී සජීව විජේවීරට එරෙහිව   කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින්ගාල්ල මූලස්ථාන පොලීසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව අද ගාල්ල පොලීසියේ පෙනී සිටින මෙන් මාධ්‍යවේදී සජීව විජේවීරට දන්වා ඇත.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ මාධ්‍යවේදී සජීව විජේවීර පැවසුවේ, තමා විසින් ලියා පළ කළ “කොරෝනා වැඩ මඟ හැර ලකුණු දමා ගන්නා දොස්තරලා” ලිපිය හේතුවෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.  රෝහල් අධ්‍යක්ෂවරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින්,  වෛද්‍යවරුන්ගේ තොරතුරු හා අභ්‍යන්තර ලේඛන නීතිවිරෝධීව ලබාගෙන පළ කිරීමට තමන්ගේ වෙබ් අඩවිය ක්‍රියා කර ඇතැයි චෝදනා නඟන බව සජීව විජේවීර පවසයි. එහෙත් තමන් සිදු කළේ ව්‍යසන අවස්ථාවේ පොදු යහපතට හේතු වන තොරතුරු හෙළිදරව් කිරීම බව පවසන සජීව ව්ජේවීර එය තොරතුරු දැනගැනීමේ පනතට අනුකූල බවද පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන්  ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු සඳහන් කළේ මාධ්‍යයේ පළ කළ පුවත් සම්බන්ධයෙන් මාධ්‍යවේදියා තොරතුරු ලබා ගත් මූලාශ්‍ර හෙළි කරන මෙන් ඉල්ලා පොලීසියට පැමිණිලි කිරීමේ නීතිමය පදනමක් නැති බවයි. එසේම ඔහු පවසන්නේ කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා අදාල පැමිණිල්ල මගින් වක්‍රව බලපෑම් කරන්නට ගන්නා උත්සාහය 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ 36 වන සහ 40 වන වගන්ති උල්ලංඝනය කරන බවයි.  පනතේ 36 වන වගන්තිය අනුව තොරතුරු ගලනයට අදාල ක්‍රියාවලිය වැළැක්වීම හෝ අධෛර්යයට පත් කිරීමට හේතුවන කිසිවක් පනත මගින් නොසිදු විය යුතුය. එසේම පනතේ 40 වන වගන්තියට අනුව පොදු අධිකාරියක නිලධරයෙකු විසින් තොරතුරු හෙළිදරව් කිරීම හෝ නිදහස් කිරීම එම තැනැත්තා විනයානුකූල හෝ අන්‍යාකාර දඬුවමකට හෝ ලක් විය යුත්තක් නොවේ.  ඒ අනුව අදාල වෛද්‍යවරයා සජීවට තොරතුරු සැපයූ අකටයුතු නාදකයාගේ ආරක්ෂාවටද වක්‍රව තර්ජනය කර තිබෙන බව අප සමග අදහස් දක්වමින් එම නීතීඥවරයා පෙන්වා දුන්නේය.

රෝහල් අධ්‍යක්ෂවරයා අනුගමනය කරමින් සජීවගේ ලිපියේ චෝදනාවට ලක් වූ සෙසු වෛද්‍යවරුන් 11 දෙනෙකුද පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අදාල සිදුවීම ගැන සිය අවධානය යොමු කර ඇති අතර සජීව විජේවීරට සහය දීම සඳහා නීතීඥයින් කිහිප දෙනෙකුද ඉදිරිපත්ව සිටී.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.