මළසිරුරු භූමදානය ගැන කැබිනෙට්ටුව තීන්දු ගන්නේ නැහැ – ජනමාධ්‍ය ඇමති

කොවිඩ් වෛරසය ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධව තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලයට අයිතියක් හෝ හැකියාවක් නොමැති බවත් එය කළ යුත්තේ සෞඛ්‍ය අංශ නිර්දේශ මත පමණක්ම බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ සම්බන්ධව පවතින යෝජනා කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට බඳුන් වූ නමුත් මළ සිරුරු භූමදානය කිරීම සඳහා කිසිදු අනුමැතියක් ලබා නොදුන් බවද ඒ මහතා කීය.

කැබිනට් මණ්ඩලය මගින් මෙම කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් අපේක්ෂා කිරීම වැරදි බවත් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය එය නිවැරදිව තේරුම් ගෙන මළ සිරුරු භූමදානය කිරීමේ හැකියාවක් තිබේද යන්න සොයා බැලීමේ වගකීම සෞඛ්‍ය ඇමැතිවරියට ලබාදුන් බවත් කී ඒ මහතා එමඟින් මළ සිරුරු භූමදානය කිරීමට අනුමැතියක් ලබාදුන් බවක් කිසිසේත් නොහැඟවෙන බවද අවධාරණය කළේය.

මේ රටේ සිංහල,ද්‍රවිඩ,මුස්ලිම්,බර්ගර් හා මැලේ යන සියලු ජනතාව මේ අවස්ථාවේ කිසියම් කැපවීමක් කළ යුතුව තිබෙන බවත් අනවශ්‍ය කාරණා මතු කරගෙන ප්‍රශ්න ඇතිකර ගැනීම කොවිඩ් අර්බුදයට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියට බාධාවක් බවත් හෙතෙම අවධාරණය කළේය.

කැබිනට් මණ්ඩලයට කරන්න පුළුවන් දේ කුමක්ද බැරි දේ කුමක්ද යන්න නිවැරදිව තේරුම් ගෙන තිබෙන බවත් මළ සිරුරු භූමදානය කළ හැකිද නැත්ද යන්න සම්බන්ධ තීරණය ඉදිරියේදී සෞඛ්‍ය අංශ මගින් ලබාදෙනු ඇති බවත් කී ඒ මහතා ඉන්පසු ඊට අනුගතව ක්‍රියාකළ හැකි බවද ප්‍රකාශ කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *