මහ මුහුද වනසන හැඹිලි දැල

ලක්මාල් කේ. බදුගේ – ත්‍රිකුණාමලය
“..හැඹිලි දැල් කාරයෝ කිමිදුම්කරුවෝ දාලා කොරල් පරය උඩ මාලු ඉන්නවාද කියලා බලලා තමයි ඩයිනමයිට් පොළවට වදින්න ගහන්නෙ. ඊට පස්සෙ දැල වට කරනවා මැරුණු මාලු ටැංකි දාලා ගන්නවා ගන්න බැරි මාලු දිය යට යනවා. මුහුදටත් නැහැ ගොඩටත් නැහැ. ඩයිනමයිට් හින්දා කොරල් පරය කුඩු වෙලා ඒ වටේ මාලු මැරිලා බිත්තර විනාශ වෙලා මුහුදට වෙන්නේ විශාල හානියක් සමහර වෙලාවට නාවික හමුදා මුර යාත්‍රා නොදැක්කා වගේ ඉන්නවා. අවුරුදු 40 ක් මුහුදු රස්සාව කරපු අපිට මුහුදට කියලා ඉතිරි වෙලා තියෙන්නේ මඩයි වතුරයි විතරයි. දැන් මාලු කිලෝ පහක් වත් අල්ල ගන්න විදිහක් නැහැ..”
හැඹිලි දැල් කරුවන් නිසා සුළු පන්න ධීවරයන්ට අත්ව ඇති කණගාටුදායක ඉරණම ගැන එසේ පවසන්නේ ත්‍රිකුණාමලය සී/ස කුඩාඔරු බිලීපිති සමුකාර සමිතියේ සභාපතිවරයා වන ඒ. එච් සුනිල් ද සිල්වා මහතා යි.

වටකරන දැල් විශේෂයකට අයත් වන පර්සීන් දැල හෙවත් හැඹිලි දැල ලොව පිළිගත් කාර්යක්ෂම පන්න ක්‍රමයකි. එය 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන පනතේ විධි විධාන අනුව බලපත්‍ර නිකුත් කරන අනුමත පන්න ක්‍රමයක් වන නමුත් මෙම පන්න ක්‍රමය මෙරට මුහුදු කළාපය තුලට නොගැලපෙන්නක් බව පෙනි යන්නේ වසර 35 කට ආසන්න කාලයක් පුරා ඊට සුළුපන්න ධීවරයන්ගෙන් එල්ල වන විරෝධය දිනෙන් දින වැඩිවන හෙයිනි.
මෙරට මුහුදු තීරයේ මසුන් අස්වැන්න කාර්යක්ෂමව නෙලා ගැනීම සඳහා මෙම පන්න ක්‍රමය හඳුන්වා දී ඊට අදාල නියෝගයන් පනවනු ලැබු නමුත් 1995 පෙබරවාරි 20 වන දිනැති අංක 859/3 දරණ අති විශේෂිත ගැසට් පත්‍රයෙන් සංශෝධිත 1986 (හැඹිලි) පර්සීන් දැල් පිළිබඳ නියෝග සඳහන් අති විශේෂ ගැසට් පත්‍රයෙහි පවතින නියෝග තුල යම් යම් දෝෂ හැඹිලි දැල්කරුවන් හා සුළුපන්න ධීවරයන් අතර නිතර නිතර හට ගන්නා ගැටුම් වලට හේතුවක් වී තිබේ. මේ තත්වය තුළ ත්‍රිකුණාමලය මුහුදු තීරයේ හැඹිලි දැල්කරුවන් සමග ඇතිවු ගැටුම් වලින් පසුගිය වසර පහ තුල සුළුපන්න ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
ත්‍රිකුණාමලය, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයන් හි අනුමත පන්න ක්‍රම සියල්ල භාවිතා කරමින් මසුන් ඇල්ලීමට ධීවරයන් පෙළඹීමත් ඊට සුදුසු භූ විෂමතාවක් එකී දිස්ත්‍රික්කයන් හි පැවැතීමත් හේතුවෙන් හැඹිලි දැල් භාවිත කරන ධීවරයන් හා සුළුපන්න ධීවරයන් අතර නිරන්තර ගැටුම් හට ගැනීම බොහෝ සෙයින් දක්නට ලැබේ. හැඹිලි දැල්කරුවන් බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කර නාවික සැතපුම් හතට මෙහා ජල තීරයේ මසුන් ඇල්ලීමත් සිහින් සිදුරු සහිත දැල් භාවිතා කිරීමත් පැය දෙකක් තුලදී කිලෝ 2000 ක පමණ විශාල මත්ස්‍ය අස්වැන්නක් වෙළඳපොලට නිකුත් කිරීමත් හේතුවෙන් මිළ පහල යාමත් පැය පහක් පුරාවට මුහුදේ මසුන් අල්ලන සුළුපන්න ධීවරයන් වෙළඳපොලට ගෙන එන මසුන් කිලෝ 10 ට සාධාරණ මිලක් අහිමිව යාමත් මේ ගැටුම් වලට මුලික හේතුව බව පෙනි යන්නකි.
ධීවරයන් ධීවරයන් අතර හට ගන්නා ගැටුම් හේතුවෙන් සහ නොවැඩුණු මසුන් පවා හැඹිලි දැල යොදා ඇල්ලීම හේතුවෙන් මසුන් හිඟ වි සුළුපන්න ධීවරයාගේ ආර්ථිකය බිඳවැටී කර්මාන්තය කඩා වැටීමේ තර්ජනයකට ලක්වෙමින් පවතින බව ධීවර සංවිධාන රැසක්ම පෙන්වා දෙයි.
ඩයිනමයිටයක් අතෙහි පුපුරා යාමෙන් වරක් කුච්චවේලියේ ධීවරයකු මරුමුවට පත්වුයේය. එමෙන්ම ඩයිනමයිට් දැමීමට යාම නිසා මැණික් කටුව අසලින් අත අහිමිවු ධීවරයන් තිදෙනෙකු ද සිටිති. බලහත්කාරයෙන් මසුන් ලබා ගැනීම නිසා ඇතිවු ආරවුල් හේතුවෙන් මුලස්ථාන පොලිසියේ හා වරාය පොලිස් ස්ථානයේ පැමිණිලි 30 කට වඩා පවතින බවත් මුහුදට වැඩිම හානිය කරනුයේ කුච්චවේලි, කින්නියා හා පොඩවකට්ටු ප්‍රදේශයන්හි හැඹිලි දැල්කරුවන් බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සම්මේලනයේ සභාපති පියල් හේමසිරි පෙන්වාදෙයි.
ඔහු වැඩිදුරටත් පවසනුයේ හැඹිලි දැල් බලපත්‍ර ලබා ගෙන එහි කොන්දේසි උල්ලංඝණය කරමින් කුඩා සිදුරු සහිත දැල් යොදා ගනිමින් මසුන් ඇල්ලීමත් ඩයිනමයිට් භාවිතයත් නිසා නැගෙනහිර මුහුදු තීරය මුළුමනින්ම වැනසී ඇති බවයි.

පර්සීන් දැල් නියෝග, ගැසට් පත්‍රයේ නියමයන් හා ඒ අනුව ලබා දී ඇති බලපත්‍රයන් හි කොන්දේසී උල්ලංඝණය කිරීම හේතුවෙන් නාවික හමුදාව හා ධීවර නිලධාරීන් එක්ව මෙම වසරේ ඉකුත් මාස පහ ඇතුලත හැඹිලි දැල් සම්බන්ධ වැටලීම් 28 ක් සිදුකර නඩු පවරා රුපියල් 23,50,000 ක මුදලක් දඩ ලෙස අයකර දී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 160 කි. ඒ අනුව පෙනී යන්නේ සුළු පන්න ධීවරයන් හා ගැටුම් ඇතිකර ගනිමින් මහ සයුරට වින කරන හැඹිලි දැල්කරුවන් මෙම පන්න ක්‍රමය කෙතරම් දුරට අවභාවිත කර ඇතිද යන්නය.
හැඹිලි දැල සඳහා අවසර පත්‍ර ලබා ගන්නා ධීවරයන් මසුන් ඇල්ලීමේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීමත් ඩයිනමයිට් යොදා ගැනීමත් නිසා මුහුදු තීරයට මහත් තර්ජනයක්ව පවතින හැඹිලි දැල මෙරට වෙරළාසන්න මුහුදට නොගැලපෙන එකක් බව ධීවර අමාත්‍යවරයා විසින් සකස් කර 1987 ජනවාරි 19 වන දිනැති අංක 437/46 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද 1986 (හැඹිලි) පර්සීන් දැල් පිළිබඳ නියෝග මාලාව අධ්‍යයනය කිරීමෙන් මනාව පෙනේ.
මේ හේතුවෙන් සුළුපන්න ධීවර කර්මාන්තය තුල අර්බුධයන් රැසක්ම පැන නැගී තිබේ. පර්සීන් දැල් නියෝග පිළිබද ගැසට් අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ ගැසට් පත්‍රයේ පවතින දෝෂ නිසා ධීවර පරීක්ෂකවරුන්ට, පොලීසියට හා නාවික හමුදා නිලධාරීන්ට අමතර කාලයක් මහ සයුර ආරක්ෂා කිරීමටත් ධීවරයන් අතර පවතින ගැටුම් හා ආරවුල් විසදීමටත් වෙන් කිරීමට සිදුව ඇති බවයි.
එමෙන්ම බහුතරයක් ධීවරයෝ නීති විරෝධි හැඹිලි දැල් දැමීමට වග උත්තරකරුවන් බවට පත් කරනුයේ ද ධීවර පරීක්ෂකවරුන් හා නාවික හමුදාවයි ඔවුන් එක එල්ලේම චෝදනා කරනු ලබන්නේ නාවික හමුදාවේ මුර යාත්‍රා නිලධාරීන් අල්ලසට යටව තහනම් ආම්පන්න දමන හැඹිලි දැල් ධීවරයන් රකින බවයි. එමෙන්ම ධීවර නිලධාරීන් දැල් ඇල්ලීම සිදු නොකරන බවටත් ඔවුන් අධිකරණයේදී හැඹිලි දැල්කරුවන්ට වාසි වන සේ කරුණු ගොණු කරන බවටත් ධීවරයෝ වරින් වර නගන චෝදනාවකි.
නමුත් හැඹිලි දැල් ගැසට් පත්‍රය අනුව කිසියම් ධීවරයකු අවසර පත්‍ර ඉල්ලන්නේ නම් එය නිකුත් කිරිමට ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බැඳී සිටි. එබැවින් අවසර පත්‍ර ලබා දීම ධීවර නිලධාරීන් විසින් සිදු කරන අතර 2019 වසර වනවිට ධීවර දෙපාර්තමේන්තුව විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල පමණක් හැඹිලි දැල් සඳහා අවසර පත්‍ර 203 ක් නිකුත් කර තිබේ. නමුත් 2023 වන විට අවසර පත්‍ර ලබාදීම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුව තිබේ.
හැඹිලි දැල් සඳහා නියෝග නිකුත් කරනු ලැබුවද එක් එක් දිස්ත්‍රික්කයන් සඳහා ලබා දිය යුතු බලපත්‍ර සංඛ්‍යාව නිශ්චිත නොකිරීමත් එය ධීවර අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන බව ගැසට් පත්‍රයෙහි සඳහන් විමත් හේතුවෙන් එක් එක් කාලයන් වලදි ධීවර ඇමතිවරුන්ගේ අභිමතය පරිදි බලපත්‍ර අඩු වැඩි වශයෙන් ලබා දීමද මේ තත්වය පාලනයට අපහසු වීමට හේතුවකි.
මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඉෂාර තරින්ද කංකානම්ගේ පැවැසුවේ නීතිවිරෝධි හැඹිලි දැල් මැඩලීමට තම දෙපාර්තමේන්තුව නාවික හමුදාව හා එක්ව අඛණ්ඩ වැටලීම් කරන බවත් නඩු පවරමින් පාලනයට කටයුතු කරන බවත් පවසයි.
“නීති විරෝධි හැඹිලි දැල් දැමීම පාලනය කරන්න අපි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. වැටලීම් අඛණ්ඩවම කරනවා. නඩු පවරනවා. නඩු පවරලත් තියෙනවා. ඉතින් මේ විනාශය කරන්නෙ ධීවරයන්මයි ඉතින් ධීවරයන්ම තමා මේකට විරුද්ධ වෙන්නත් ඕන. ඒ අය තේරුම් ගන්න ඕන කොරල් පර ආශ්‍රිතව ඩයිනමයිට් ගැහුවම නැතිවෙන්නේ මාලු විතරක් නෙවෙයි කියලා මාලු බිත්තර, කොරල් ආශ්‍රිත ජීවින් මේ සියල්ලම විනාශ වෙනවා කියන එක”