මහ බැංකු හොරුන්ටයි ආණ්ඩුවටයි ඡන්දෙදි උත්තර දෙනවා – සජිත්
මහ මැතිවරණය ජයගෙන ආණ්ඩුවක් පිහිටුවා මුල් පැය විසිහතර තුළ තෙල් මිල පහත හෙළන බවත් වත්මන් රජය ආරම්භකර තිබෙන ඵලදායි නොවන නාස්තිකාර ව්‍යාපෘති සියල්ල අහෝසි කරන බවත් සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කිසිදු මූල්‍ය වගකීමකින් තොරව කටයුතු කරන වත්මන් රජය පසුගිය කාලය තුළ රුපියල් බිලියන ගණනක මුදල් අච්චු ගසා තිබෙන බවත් ඒවා වැය කරනු ලැබුවේ කුමක් සඳහාස යන්න ප්‍රශ්නයක් බවත් ඒ මහතා කීය. මහනුවර සෙංකඩගල ආසන සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ජය තහවුරු කිරීම පිණිස කටුගස්තොට රිවර්ඩේල් හෝටලයේ පැවැති රැස්වීමකදී ප්‍රේමදාස මහතා මේබව ප්‍රකාශ කළේය.
තමන් සෑම පවුලකටම ලබාදෙන බව කියන රුපියල් 2000.00 ක මුදල් ලබා දෙන්නේ කොහොමද කියා අද ප්‍රශ්න කරන්නේ මහ දවල් අමු අමුවේ මහ බැංකුව කොල්ල කෑ උදවිය බවත් ඔවුන්ට නියම පිළිතුර මහ මැතිවරණයෙන් පසු ලබාදෙන බවත් ඒ මහතා කීය.
මේ රටේ යුද්ධ දෙකක් තිබියදී තම පියණන් වන රණසිංහ ප්‍රේමදාසයන් පාසැල් ළමුන් ලක්ෂ 43 කට නිල ඇඳුම් හා දිවා ආහාරය ලබා දුන් බවත් ඇඟළුම් කර්මාන්ත ආරම්භ කරමින්,ජනසවිය දියත් කරමින්,ගම් උදා බිහිකරන්නට එතුමා ක්‍රියා කළ බවත් කී ඒ මහතා ඒ අවස්ථාවේදිද ඇතැමුන් මේවාට සල්ලි කොහෙන්දැයි විමසූ නමුත් ප්‍රේමදාස මහතා එය සිදුකර පෙන්වූ බවද අවධාරණය කළේය. එලෙසින්ම තමන්ද කියන දේ සිදුකර පෙන්වන බවත් බලයට පත්වූ පසු රුපියල් 20000.00 බැගින් සෑම පවුලකටම ලබාදීම තමන්ට අභියෝගයක් නොවන බවත් හෙතෙම අවධාරණය කළේය. පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දකුණු ආසියාවේ රටවල් අතරින් ජනතාවට අඩුම මිලට තෙල් ලබාදෙන්නේ තම රට බව ප්‍රකාශ කරත්දී අපේ කැබිනට් මණ්ඩලය වසරක් යනතුරු තෙල් මිල වෙනස් නොකරන බවට තීන්දුවක් ගෙන තිබෙන බවද ප්‍රේමදාස මහතා කීය. ව්‍යාපාරිකයින්ට,කර්මාන්තකරුවන්ට සෙත සැළසීම පිණිස 4% ක පොළියකට ණය ලබාදෙන බවට පොල්ගෙඩි අකුරින් මාධ්‍ය වල දැන්වීම් දමා ආණ්ඩුව විශාල ප්‍රචාරයක් කළත් එම ප්‍රතිලාභය හිමිවූ අය සොයාගත නොහැකි බවත් තමන් බලයට පැමිණ සති දෙකක් තුළ 4% පොළියට ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පැවසුවේය.