මහ ඡන්දෙ ලේසි නෑ; මැකෝ කියයි.

ප්‍රධාන පෙළ අපේක්ෂකයන් දෙතුන් දෙනෙකු අතරේ පවතින තරඟයක් වන ජනාධිපතිවරණය මනාව මෙහෙය වූ මැතිවරණ කොමිසමට සියලු දෙනාගේ ප්‍රශංසාව හිමි වූ බවද පාර්ලිමේන්තු මැතිවරණය මෙහෙය වීම සිතන තරම් පහසු නොවන බවද මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ඊයේ (13) දා ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී අංගුලිමාල සුළඟ කාව්‍ය කෘතිය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අද වන විට දේශපාලනය රස්සාවක් වී ඇති හෙයින් පාර්ලිමේන්තු මැතිවරණයද තම තමන්ගේ රස්සාව බේරා ගැනීමට කරන සටනක් වී ඇති බවය. එම නිසා එය පරිපාලන සේවා විභාගයටද වඩා අසීරු කටයුත්තක් වී ඇතැයි හෙතෙම පැවසුවේය.
තමන් මැතිවරණ නීතිය, ව්‍යවස්ථාව ආදිය ගැන කතා කරන තරම් කවිය ගැන කතා කිරීමට නොදන්නා බවද කවීන්ද සමාජය පිළිබඳ නිරීක්ෂණය කරන්නෝ බවට පත් විය යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය අදහස් දැක්වීමේදී පැවසීය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ වනවිට ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි කැපී පෙනෙන ප්‍රතිචාර දක්වන්නෙකුද වන අතර සමාජ මාධ්‍ය පරිශීලක යොවුන් ජනයාගේ සිත දිනූ වීරයෙකි.
උත්පල ගල්ගොඩඋහන