මහින්ද කුරුණෑගලින් ගම්පහට

එළඹෙන අප්‍රේල් මස පවත්වන්නට නියමිත මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ. එය එසේ සිදු වුවහොත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය තුළ වැඩිම මනාප ගණනක් ලබා ඇති මහජන නියෝජිතයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තබා ඇති වාර්තාව බිඳ වැටෙන්නට ඉඩ තිබේ. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව අනුව ඉතා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අසීරු නොවන බැවිනි. 2018 වසරේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව පිළිබඳ දත්තවලට අනුව වික්‍රමසිංහ මහතා මැතිවරණයට ඉදිරිපත් වන කොළඹ දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලත් ඡන්ද දායකයින් 1670403 කි. ගම්පහ දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 1751892. (මූලාශ්‍රය: මැතිවරණ කොමිසම)
ඒ අනුව ජනාධිපතිවරණයේදී යොදා ගැණුනු එම ලැයිස්තුවම බොහෝ විට භාවිතා කරන්නට ඉඩ ඇති එළඹෙන මහා මැතිවරණයේදී ගම්පහ ඡන්ද සංඛ්‍යාවද ඉහළ වන අතර ඉන් වැඩි මනාප සංඛ්‍යාවක් දිනා ගැනීම මහින්ද රාජපක්ෂ මහතාට පහසු කාර්යයකි. ද්විත්ව පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතාට පවතින තත්ත්වය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැක.
ඒ අතර අද මහනුවර මහයියාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමට සහභාගී වූ රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ එළඹෙන අප්‍රේල් මස විසිපස් වැනිද (25) පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බවයි.
ගයාන් යද්දෙහිගේ.